Monday, November 14, 2011

"වලේ" ඉඳං නාට්‍ය බැලූ හැටි : සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය සහ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිලිබඳ අතීත ආවර්ජනාවකි! - රසික සූරියආරච්චි විසිනි


කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභාවන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්ණ ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිෂව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කලද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්ව විද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙනිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිලෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙනිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කලා රසිකයින් ගේ රංගන රසකාමය ප‍්‍රශමනය පිණිස දායාද කරන ලද එලිමහන් රංග පීඨයයි.

තම ස්වයං චර්තාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.

"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුළේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන පේ‍්‍රක්ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුළේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්වර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වලේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහභාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිලියෝ එදා පේරාදෙනිය නාට්‍ය කලා උළෙලේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එලිමහන් රඟහල නිසාය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපල ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එළොව ගිහින් මෙළොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.

"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය ලෙළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."

එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යලිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙනියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහලට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙලෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යලි යලිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙනිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිත‍්‍ර්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුනා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුල සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වලේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුනු "රත්තරං" සහ "එළොව ගිහින් මෙළොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ලබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුලින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

Photos: Buddika Hetttantri, Robin Bosco

12 comments:

  1. [[එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත]]

    බොරූ නේ. ඇහුවොත් කියන්නේ අපි මේ ටික කාලෙකට ආවේ කියලා අහවල් අහවල් හේතු නිසා ඉවර උන ගමන් ආපහු යනවා කියලා. ඇත්තටම කිව්වොත් කියන්නේ ඇත්ත. හැබැයි ඔය හේතු එකක් පස්සේ එකක් එනවා කප්පරකට. ඉවර වෙන්නේ නැහැ.

    හැබැයි නිවාඩුවට ලංකාවට ආවාම, මාර රස්නෙයි, මොස්කිටෝස් ලා, මහා චාරයක්‌ නැති ට්‍රැෆික්, මෙහෙ වැඩ වෙන හැටි හොඳටම චාටර් අරකය මේකය කොම්ප්ලේන් ඒමට.

    කෙටියෙන් කිව්වොත් එන්න කැමති උනාට කාරනා දීලා තියෙන්නේ අනික් පැත්තට. ඇවිත් ඉන්න බැහැ.

    ගොඩක් මයිග්‍රන්ට්ස්ලා ලංකාවේ ස්ටිල් පික්චර් එකක් හිතේ අරගෙන යන්නේ. එහෙ ඉන්න හදන්නේ ඒකට කොම්පටිබල් විදිහට. මෙහෙ ආපහු ආවාම මේ රට එතනින් හැතැම්ම ගානක් ගිහින්. ඔන්න විසංවාදය පටාන් ගන්න තැන.

    ReplyDelete
  2. මා මෙහි ලියන්නට සිතූ දෙය Sujeewa Kokawala මහතා කළින් ම ලියා ඇත.

    ReplyDelete
  3. @ සුජීව
    ඔබ උපුටා දක්වා ඇති මගේ වැකියේ ඇති උපහාසය ඔබට නොතේරුනේ දෝ සිතේ!

    ReplyDelete
  4. නැහැ නැහැ ඒ විහිළුව නම් තේරුනා. මොකද ඇහුවොත් කියන්නේ අනේ අපි මේ තව ටික දවසයි ඉන්නේ කියලනේ. මට ඒක රෙසොනෙට් උනා මේ කතාවේ "එසේ කළ හැකි නම් සහ තමන් එලිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහණයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන", විශේෂයෙන් "කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්"

    ReplyDelete
  5. [[එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.]]

    මෙන්න මේක තමා මේ ලිපියේ දුටු ලස්සනම කොටස.

    [[පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යලිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙනියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ. ]]

    මෙන්න මේක එනම් පේරා එවුන පේරා ස්ටාෆ් ම ජොයින් වෙන්න දක්වන සැමන් මාළු කැමැත්ත අර රට ගිය ඇත්තන්ගේ ආපහු එන්න හිතා ඉන්න චින්තනය මෙන් වෙනම සාකච්චාවට ගත යුතු වේ.

    පේරා ස්ටාෆ් හැදී ඇත්තේ මෙහෙම එන අයගෙන් ම නිසා එය තවත් වැදගත් මාතෘකාවක් වේ. පේරා ග්‍රජුවට්ස් ලා ගැන වෙනම ක්ෂේත්‍රය තුල කතා වෙන නිසා මේ සංසිද්ධියේ බලපෑම ගැන ද කතා වීම වැළැක්විය නොහේ.

    [[මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම]]

    කෙල්ලට සුබ පැතුම්. තාත්තගේ කළා හැකියාවෙන් පොඩිත්තක් හරි නැතෑ.

    [[ජයන්ත රත්නායක]]

    රසික සුරිය ආරච්චි ජයන්ත රත්නායක ගැන කරන සඳහනින් "අත්ලාන්තික් සයුරේ සුළි කුනාටු ඇති වීමට" සමනල ආචරණය කියා කිව හැකිද?

    ReplyDelete
  6. වලේ සිට නාට්ටය බැලීමට මටද හැකියාවක් ලැබුනා... සැමදා පවතින සුන්දර මතකයක්
    ජයවේවා

    ReplyDelete
  7. රසික,
    ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ලකුණු ලබාගෙන, නිර්භීතව පේරා ගිය බවයි ...Well done !
    පහත සදහන් කොටස මොරටුවට අසාධාරණයක් නොවන පරිදි වෙනස් කලානම්, මෙම ලිපිය හැමටම එකසේ රස විදින්න තිබුනා ...... ඒ අපි "ටැක්නිකල් හන්දිය" ටත් "ජේම්ස් ජෝර්ජ් ශාලාව" ටත් සදා ණයගැති මිනිස්සු හින්දා ...

    *** එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. ***

    ReplyDelete
  8. රසික,
    ඔබගේ ලිපියෙන් මට පෙනෙන්නේ, ඔබ මොරටුවට යන්න ලකුණු ලබාගෙන, නිර්භීතව පේරා ගිය බවයි ...Well done !
    පහත සදහන් කොටස මොරටුවට අසාධාරණයක් නොවන පරිදි වෙනස් කලානම්, මෙම ලිපිය හැමටම එකසේ රස විදින්න තිබුනා ...... ඒ අපි "ටැක්නිකල් හන්දිය" ටත් "ජේම්ස් ජෝර්ජ් ශාලාව" ටත් සදා ණයගැති මිනිස්සු හින්දා ...

    *** එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිලී ගඳ වෙනුවට මල් සුවඳත් තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. ***

    නිශාන්ත රාජපක්ෂ

    ReplyDelete
  9. @ නිශාන්ත රාජපක්‍ෂ / ගජිඳු තේජස් රාජපක්‍ෂ
    මගේ ලිපියෙන් කාටවත් අසාධාරණයක් නෑ. මේ මගේ අදහස මා ලියන විදියයි. ලිපියක රසය එන්නේ භාෂාව, ශබ්ධ රසය මෙන්ම උත්ප්‍රාසය ද නිසායි.

    මේ ලිපියේ ඔසී රටේ ඉන්නා අය ගැනත් උත්ප්‍රාසයෙන් සඳහන් වෙනවා!

    ඉහත කී දේ තේරුණා නම් මෙන්න ඉතුරු ටික.

    දුකිය තමා, ඒත් ඉතිං මොනව කරන්ද අනේ?
    ලබන ආත්මේවත් පේරාදෙනියේ යන්ණ දැන්මම ඉඳලා පිනක් දහමක් කරගන්න.

    ReplyDelete
  10. "නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම"
    අර රෝස බබා නේද? සුබ පැතුම්!

    ReplyDelete
  11. හෙන්රි වර්ණකුලසුරියDecember 6, 2011 at 9:26 PM

    රසික, මතක සටහන් අගෙයි...
    රැග් සීසන් එකේදී අංකුර කවියෙකු ලෙස ඔබ හඳුනා ගත දවස් මතක් වුනා..
    දැන් එව්වෝ රැග් කියල වෙන මොනවද කරනවා වගේ නේද..
    ජයන්ත රත්නායක, මගේ බැචා සරසවියේදී ක්ලයිව් ශාන්තගේ නාට්‍යයක අපූරු රංගනයක යෙදෙමින් වේදිකාවට අත් පොත් තැබූ අයුරුත් සිහිපත් වුණා.
    එදා ඊට රංගනයෙන් දායක වූ කම්මලේ ශිෂ්‍යයන් වූ ජයන්ත සහ සමන්මල් දෙදෙනාම දැන් කැන්ගරු දේශ වැසියෝ..
    ඔබ අපේ අතීත මතක අලුත් කරනවාට ගොඩක් පින්.

    ReplyDelete
  12. ඔය වලේ තියෙන අවුල වැස්ස වෙලාවට පිළියමක් නැතිකමයි . මට මතකයි මද වැස්සේ සමහර නාට්‍ය බැලුවා. සෝමලතා සුබසිංහගේ නාට්‍යයක(නම මතක නෑ) "කලාව කලොත් මළා " කියනකොට වැදුන හුව නම් තාම මතකයි.

    ReplyDelete