Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Tuesday, December 27, 2011

මුරලි පුතා සහ දූසර පන්දුව - Muralidaran and his Doosra : ඥාණතිලක හේවාගමගේ


ඇස් කැරකෙනා රුව දකිමින් පිත්ත තියා
ඉන්නා පිතිකරුට සංයමෙ නැතිව ගියා
අහසට ඉගිලුනා පන්දුව ද6ගය කියා
ලෝකෙන් උතුම් රට කියලා දැවී ගියා

මුරලි පුතාගේ ඕවර කොතැන කියා
සද්දන්තයින් ලෙස වැජඹෙන සැවොම බයා
ඉවතට දෝ ඇතුළට දෝ එන්නෙ කියා
දූසර පන්දු කැරකුම නැත පොතේ ලියා

දිලිසෙන පැත්ත කැරකුම සහ වේගෙ ලියා
පර්යේෂණ දනන් සිටියා දෙනෙත අයා
බෘනලි සිද්ධාන්තෙට පටහැනිය කියා
කල්පිත වාදයක් මුව මුව පැතිර ගියා

එක පිට එක බිඳී වැටෙනා කඩුලු බලා
ඔල්වරසන් නගයි නරඹන මිනිස් කැළා
අදමිටු දනන් සිටියත් දැක උරණ වෙලා
මිතුරන් සිටී වට පිට නුඹ රකිනු බලා

ලෝක කුසලාන පොදි බැඳ මගෙ නොකියා
නිහතමානයේ හිණි පෙත්තටම ගියා
කණ්ඩායමේ අභිමානය රකින නියා
මමත්වයේ සිතුවිල්ලෙන් පහව ගියා

තරු සමගින් පැමිණ එකමුතු කමද තියා
කි‍්‍රකට් කී‍්‍රඩාවෙ ජය ටැඹ රැගෙන ගියා
සිරිලක දනන් සැනසෙයි නුඹෙ යසස කියා
දිලියන් පුතුනි! ලොව නොමැකෙන ලකුණු තියා

ඥාණතිලක හේවාගමගේ
සිඞ්නි


(image: http://vivsportings.blogspot.com/2010/07/magic-of-muttiah-muralitharan.html)

Thursday, December 15, 2011

ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් - Sir Don Bradman - හෙන්රි කුමාරප්පෙරුම


බටහිර දෙසට දිව යන මහ මග ඔස්සේ
ඈතින් ගමක තතු කියවෙයි හැම තිස්සේ
වියැලෙන කතර වියලෙන්නට නොව රිස්සේ
මිදි බඩ ඉරිඟු වතු හරිතෙන් කළෙ තොස්සේ

කෙත් බිම් වැවේ සරුවට ඈත ඇසි දිසි
නෙත් සිත් පිරේ කහ පැහැ හිරු මලින් වැසී
යත්නක් නොවේ නම් වපසරිය බොල් ගැසී
අත් පත් සුවේ කිමදැයි දනිති ගම වැසී

"කූටමන්ඩුරා" නගරය දැකුම්කළු
"යං" "වග-වගට" අතරින් කඳු ය කොත් දිලූ
"දොන් බ්‍රැඩ්මන්" කුමරු නිජබිමට සෙත එලූ
ඔහු කෙලි ලොවෙහි තැබු නම වීය කන්කළු

ක්‍රීඩා ක්‍රිකට් පිති හරඹයට හද යෙදූ
නෙක විරු දනන්ගෙන් අරුමයකි ලොව සැදූ
බැද ජය කෙහෙලි බ්‍රැඩ්මන් මැතිඳ දෙස පිදූ
මේ කෙලි බිමට නන් දෙස දනගෙ පුද සැදූ

නිල්ලේ සිසාරා දස අත පන්දු ගියා
මුල්ලේ ගමක කිතු ගොස ඉන් පැතිර ගියා
බ්‍රැඩ්මන් නමට සිරිමත් නම යාව ගියා
එල්ලේ බලති සැම එනම ම පෙරට තියා

ඉතිහස බබලවන විරුවකු ලෙසින් දැයේ
මද හස මුවග දී නව-දසකයක් ගියේ
සිරිමත් නාමෙ දොන් බ්‍රැඩ්මන් තබා දැයේ
අවසන් මතක ඇඩිලේඩයෙ තබා ගියේ

-හෙන්රි කුමාරප්පෙරුම

(image: http://www.espncricinfo.com/australia/content/image/366312.html)

Saturday, November 26, 2011

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය - උඩගේ වික්‍රමසේන


විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වල
වායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළ
වටපිට ලස්සනයි හරිම ගස් වැල් මල් පිරී පල
චමත්කාර වේ රට තොට තතු විමසා බලන කල

සුවඳ දිදී හතර අතේ ගුමු ගුමු නද යනව පැතිර
සිරියාවයි මල් පිපිලා ගස් වැල් වල අපේ ගෙදර
මී මැස්සන් හා බඹරුන් රොන් ගන්නව නෑ හිරිහැර
දසුනකි මේ සදාතනික ඉන්නේ කෙලෙසද මග හැර

ජෝඩු ජෝඩු මයිනන් හා රොත්ත පිටින් පරෙවියෝ
අහර සොයා බඩ පුරවති කොකැටු බටිති මලිතියෝ
ගස්ස ගස්ස හිස වට පිට බලා කුරුළු කිරිලියෝ
තටු සලලා නෙළුම් විලෙන් දිය නා ඉගිලී ගියෝ

නිවසෙ වටේ ලොකු ගස් යට සෙවන තිබෙන තැන් සොයලා
තෝර තෝර පාට පාට ගැලපෙන ලෙස සකසාලා
රෝස සමන් "ග‍්‍රැඩියෝලා" "ඩ්‍රැෆොඩිල්" පැල සිටුවාලා
ඬේසි සමග මුසුවූ විට හමයි සුවඳ විහිදීලා

දැඩි රස්ණය උසුලනු බැරි සුරුබුහුටිවු මේ මල් පැල
කරටි ලඟින් බිමට නැමේ හිරු තාපය වැඩිවෙන කල
මිටක් දෙකක් දැමූ කලට පොහොර සමග දිය මුසු කල
විස්මිත නොමවන්නෙද මතුවී එන කොට අළුතින් පැල

පෝච්චියෙන් පෝච්චියට එබිකම් කර බලන කලට
බින්දු බින්දු පුල්ලි පුල්ලි තරු හා ලප මෝස්තරෙට
වෛවර්ණය පෙති සියල්ල ගැලවී ඇත එකින් එකට
පණ ආවොත් සමනල්ලූන් මෙන් සැක නැත ඉගිලෙනවට

-උඩගේ වික‍්‍රමසේන

(image: http://home.howstuffworks.com/schizanthus-butterfly-flower-poor-mans-orchid.htm)

Tuesday, November 22, 2011

නෙඩ් කෙලී: An Australian Hero - මලී දිසානායක


පසු ගිය සිය වසේ ඔසි රට ඉතිහාසේ
මෙල්බන් නුවර "බෙවරෙජ්" නම් ගම් පියසේ
සරු ගොවි බිමෙක අස්වනු සරි වූ නිසිසේ
විසුවෝ පවුල් දහයක් සමගිව සතොසේ

"රෙඩ්" හා "ඇලන්" අයිරිෂ් ජාතික යුවළ
මෙගමේ විසුවෙ කාටත් පාමිනි ලීල
වපුරා තිරිඟු සිටුවාලා අල බතල
සරි කළො පැටවු අට දෙනෙකුට තුන් වේල

"නෙඩ් කෙලි" නමැති මේ පවුලේ පස් වැන්නා
සැමගේ හිත් දිනාගෙන ජීවත් වෙන්නා
දවසක් දියේ ගිලූනම සගයෙකු දන්නා
පැන බේරුවා තම එඩිතර කම පෙන්නා

මේ පැටි වියේ කළ දස්කම අගයන්න
විදුහල සමග මුළු ගම එක්විය දන්න
එඩිතර හිතක් ඇති "නෙඩ්" පුතු වනමින්න
රන් කාසියක් පිරිනැමුවා පලඳින්න

වරදක් දුටු තැනදි නිවැරදි කෙරුවේ ය
කාගෙත් දුකෙදි ඔහු හදවත උණු වේ ය
සෙල්ලම් පිටියෙදී මුල් තැන ලැබුවේ ය
නිවසට ගමට ඔහු එළියක් වූවේ ය

ගිල්වා "ඇලන්" ගේ හදවත දුක් ඇල්ලේ
පැටවුන් හැර පියා පණ මෙන් පෑ ලොල්ලේ
නොකියා හදිසියෙම දවසක අරුණැල්ලේ
"රෙඩ්" සැඟවුනා මරු හා ගේ ලඟ ඇල්ලේ

ඈ තනිවුවත් මේ ලොව දරුවන් සම ග
නෑ පෙන්නුවේ කාටත් එය දුකක් වග
දරුවන් හට කවා තියෙනා අහර සුඟ
ඈ හිස්බඩින් වැඩකෙරුවා ලන්ද ලඟ

අම්මා විඳින දුක පවුලක් රකින්න ට
මට නම් අම්මෙ බෑ දෑසින් දකින්න ට
මගේ සොයුරියන්ගේ හෙට ලොව හදන්නට
අවසර දෙන්න මට ඔබ ළඟ සිටින්න ට

ඉසුඹුව තබා පාසල් ගමනට බාලේ
ඔහු වැඩ කළා ගොවිපලෙ ඉන් පසු කාලේ
සොහොයුරු කැලට ලැබ දී පියෙකුගෙ ආලේ
"නෙඩ්" පෙන්නුවා උණු වූ හදවතෙ තාලේ

පැන දාමරිකයන් පිරිසක් මේ ගමට
ඇන ගිනි අවුලූවා පැල්පත් ලා බිමට
අණ කරමින් ‘තොපිව මරනව’ කිවු කලට
ඉණ හැඳි වතින් ගම්මුන් බැස්සා මගට

අසරණ ඇලන් හා ගැමියන් බියෙන් වෙලී
සරණක් නොලැබ දිව්වේ කතරටය යළී
"ග්ලෙන් හේවන්" හි මුඩු වූ බිම් කඩක වැලී
යන්තම් පැලක් ඇට වූවයි පවුල කෙලී

තද සීතෙන් මිදෙන්නට හිම වනන්තරේ
කුස ගින්නයි ලඟම හිටියේ නිරන්තරේ
ඉකිලන හඬ ඇසී සොයුරන් වරින් වරේ
නෙඩ්ගේ පපුව දා වැටුනයි දු‘ගින්දරේ

අඳුරට දෑස යොමුකර වේදනා වතින්
ඉන්නා මෑණි දුටු විට නෙඩ් දැවුනි නිතින්
නොම දෙමි නුඹලාට තව තව දුකක් ඉතින්
කී නෙඩ් කෙලී ගියෙ අහරක් සොයන සිතින්

දහවල සැඟව සිටි මේ අසරණ කොල්ලා
මැදියම් රැයේ පැලවෙත යළි එයි දුවලා
පානුත් කිරිත් මස් බිත්තර අත පිරිලා
ආ පුතු පවුල රැක්කයි අග හිඟ මක ලා

කැඳවා ඇලන්ගේ පැල වෙත අඳුර යලී
පොලිසිය අතට පත්විය පොඩි පුතා කෙලී
දහ අට මසක් ලැග සිරගෙයි දිනක යලී
ආ ඔහු වීය පවුලක් රැකි පියා යලී

පොලිසිය විසින් හොරෙකැයි හංවඩු ගැසුව
‘තක්කඩි නෙඩ් කෙලි’යි නීතියෙ ඇස වැසුව
රැඳුනා පොලිස් ඇස ඔහු දෙස ඉන් පසුව
නොකළත් කළත් ඔහු ඇත වරදට හසුව

සිතුවත් නොකර ඉන්නට මින් පසුව දඟ
පොලිසිය කැරකුනෙම නෙඩ් ගේ ගෙපැල ළඟ
පෙන්නා ඇලන් හා සොයුරුට පොලිස් රඟ
දස වද දි දී සිර කෙරුවයි ගෙයක දඟ

තම නිජබිමට පැන සිටි තැන නැති කෙරුවා
නොම කල වරදකට අම්මව සිර කෙරුවා
උන් පැල ගිනි තබා පවුලම නැති කෙරුවා
පලිගන්නෙමැයි නෙඩ් තිර අදිටන කෙරුවා

කැලයට වැදුන "නෙඩ්" හා සගයින් නඩය
නිදහස් කරනු ‘අම්මා’ ඒ නැගු හඬ ය
‘අසරණ ඇයට හිමි තැන ඇගෙ පැල් කඩය’
පිළිගනු! නැතොත් පෙන්වමි මරුවගෙ හැඩය

මැරුවා පොලිස් බටයින් සටනින් වියරූ
කෙළවර වුනා සැඟවුම් දිනකදි නුදුරූ
විය ”නෙඩ් කෙලී” නීතියෙ රැුහැණට ගොදුරූ
ඔහු එල්ලන්න අණ ලැබුනයි මැරෙන තුරූ

නිහඬව නිසසලව මේ දෙස බලා සිටී
මහ ජනතාව දන්නා මේ පුතුගෙ හැටී
හැට දහසකගෙ අදහස් කර එකට කැටී
හඬ නැංවුවා ඔහු මරණෙට නොයනු වටී

නීතිය නොතකලා ජනතා හද පැතුම
නෙඩ් එල්ලූවත් මැරුණේ නැත ඔහුගෙ නම
අවනීතියට එරෙහිව ගිය පුතුට මෙම
‘විරුවකු’ ලෙසින් අදටත් ගරු කරති සැම

- මලී දිසානායක

(image: http://our-home-theater.blogspot.com/2011/07/ned-kelly.html#!/2011/07/ned-kelly.html)

Tuesday, November 8, 2011

ආදරණීය මව් බිම - නිහාල් රූපසිංහ


හිම සීතල අප වට කොට
සිරකරගෙන
ඝණකම් සුළඟ තව තවත්
සීතල ගෙනෙනව
ඈත නිල කඳු යායෙන්,
ඇන්ටාක්ටිකාවෙන්

කොපමන සීතල ගලාවිත්
අපමණ හිම තලාවෙන්
වැසී ගියද
පොලෝ ගැබ තුල
පැසවන ලෝදිය
සිසිල් වෙද

ඔබෙන් සමුගෙන
අතීත මතක සැමරුම්
මඟ අත්හැර දා ඉඳ
සිත තුල ඇවිලෙන ගිනි කඳ
ඔබේ සෙනෙහස ඉල්ලා
නොවක් ආදරය යදිනා
ගිනිගත් හතවත
සිසිල් වෙද

ගත සිසිල් කරනා
විසල් මාලිගා තනා
යාන වාහන
රස මසවුලු නිච්ච ගීත වාදන
විසුක දස්සන අපමණ
වටකොට
දිවිගෙවුනද

-නිහාල් රූපසිංහ

(image: http://travel.ninemsn.com.au/domesticbasic/nsw-bluemountains/655851/the-blue-mountains-nsw)

Friday, November 4, 2011

දුරු රට සිට - පාලිත ගනේවත්ත

උස් ගොඩනැගිල්ලක් තුල නගරයෙහි මැද
සිසිලැති වායු සමනය සුව ගතෙහි විඳ
පරිගණකයට යොමු කර මුළු කයෙහි ඔද
මම හිඳ සිටිමි ගෙල වට ටයි පටිය බැඳ

සුදු කඩදාසි මත මා නෙත නිබඳ ගැටේ
අතැඟිලි යතුරු ලියනය මත සෙමෙන් නැටේ
සුදු මිනිසුන් ය පිය බස් තෙපලමින් වටේ
ඔවුනගෙ සිනා මැද දෙසවන් අඟුළු වැටේ

කවුළුව එපිට අහසේ දුම් රොටු පාවේ
වාහන හඬින් නගරය නිති මුස පත් වේ
නිල් අහසේ වලා පෙල නෙත නොම ගෑ වේ
සැනෙකින් මනස මගෙ මව්බිම වෙත පාවේ

කඳු ගැටයක් මුදුනෙ මා ඉපැදුණු නිවස
අක්කගෙ දියණියන් ගේ හඬ පිරි නිවස
ගෙ උයන මගේ මව හැසිරෙන යුරු සවස
මනැසෙහි ඇඳී කඳුළැලි මතුවේ යුගැස

සිටියත් ගතින් දුරු රට මව් බිම අතැර
මනැසින් වෙසෙමි සිය රට, කියනුම කවර
පල ලත් නොදී ලක් මව වෙත සිප් සතර
ගතවෙත් දිවිය හද දොම්නස දී නිතර

-පාලිත ගනේවත්ත

Tuesday, November 1, 2011

ශිවනාදන් මල්ලියේ - ඥාණතිලක හේවාගමගේ

ශිවනාදන් මල්ලියේ

බඩ ගිනි වෙලා හැඬුවා මව් නැති වේලේ
නුඹෙ අම්මාට කිරි එරුණා මං බාලේ
වැලි බත් ඉව්වෙ පළඳා පොල් කටු මාලේ
ඇයි විරසක බවක් අපෙ හදවත් පතුලේ

නෙළුම් මල තබා බුදු සාදුගෙ පතුලේ
කපුරු පිච්චුවා අපි කෝවිල ඇතුලේ
නටා කාවාඩි දේවාලය මිදුලේ
පැදකුණු කළා කිරිවෙහෙරය කොත බැබළේ

මහපටැඟිලි පොට්ටු තියලා නළල් තලේ
පොල් ගැසුවා නොවෙ ද කෝවිල් දොරටු ගලේ
නුඹෙත් මගෙත් හදවත් වල එක රතු ලේ
ඇයි මල්ලියේ පොල් ඉරටට රන්ඩු කළේ

නුඹ ගිය අයුරු සිහිකරලා නුහුරු කැලේ
මැනික් ගඟ අදත් අඬනව දුකෙන් මලේ
සංසාරයේ හැටි මෙහෙම ද සිතෙන වෙලේ
මට බුදුවරුත් අමතක වී කඳුඵ සැලේ

පුන් සඳ පායලා දිලූනම ගුවන් තලේ
විනිවිද පෙනෙන හැටි දකිනට ගග පතුලේ
ලෙච්චමි නඟත් කැන්දාගෙන සැදෑ වෙලේ
ආයෙත් වරෙන් ගං ඉවුරට මගේ මලේ

-ඥාණතිලක හේවාගමගේ