Saturday, November 26, 2011

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය - උඩගේ වික්‍රමසේන


විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වල
වායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළ
වටපිට ලස්සනයි හරිම ගස් වැල් මල් පිරී පල
චමත්කාර වේ රට තොට තතු විමසා බලන කල

සුවඳ දිදී හතර අතේ ගුමු ගුමු නද යනව පැතිර
සිරියාවයි මල් පිපිලා ගස් වැල් වල අපේ ගෙදර
මී මැස්සන් හා බඹරුන් රොන් ගන්නව නෑ හිරිහැර
දසුනකි මේ සදාතනික ඉන්නේ කෙලෙසද මග හැර

ජෝඩු ජෝඩු මයිනන් හා රොත්ත පිටින් පරෙවියෝ
අහර සොයා බඩ පුරවති කොකැටු බටිති මලිතියෝ
ගස්ස ගස්ස හිස වට පිට බලා කුරුළු කිරිලියෝ
තටු සලලා නෙළුම් විලෙන් දිය නා ඉගිලී ගියෝ

නිවසෙ වටේ ලොකු ගස් යට සෙවන තිබෙන තැන් සොයලා
තෝර තෝර පාට පාට ගැලපෙන ලෙස සකසාලා
රෝස සමන් "ග‍්‍රැඩියෝලා" "ඩ්‍රැෆොඩිල්" පැල සිටුවාලා
ඬේසි සමග මුසුවූ විට හමයි සුවඳ විහිදීලා

දැඩි රස්ණය උසුලනු බැරි සුරුබුහුටිවු මේ මල් පැල
කරටි ලඟින් බිමට නැමේ හිරු තාපය වැඩිවෙන කල
මිටක් දෙකක් දැමූ කලට පොහොර සමග දිය මුසු කල
විස්මිත නොමවන්නෙද මතුවී එන කොට අළුතින් පැල

පෝච්චියෙන් පෝච්චියට එබිකම් කර බලන කලට
බින්දු බින්දු පුල්ලි පුල්ලි තරු හා ලප මෝස්තරෙට
වෛවර්ණය පෙති සියල්ල ගැලවී ඇත එකින් එකට
පණ ආවොත් සමනල්ලූන් මෙන් සැක නැත ඉගිලෙනවට

-උඩගේ වික‍්‍රමසේන

(image: http://home.howstuffworks.com/schizanthus-butterfly-flower-poor-mans-orchid.htm)

Tuesday, November 22, 2011

නෙඩ් කෙලී: An Australian Hero - මලී දිසානායක


පසු ගිය සිය වසේ ඔසි රට ඉතිහාසේ
මෙල්බන් නුවර "බෙවරෙජ්" නම් ගම් පියසේ
සරු ගොවි බිමෙක අස්වනු සරි වූ නිසිසේ
විසුවෝ පවුල් දහයක් සමගිව සතොසේ

"රෙඩ්" හා "ඇලන්" අයිරිෂ් ජාතික යුවළ
මෙගමේ විසුවෙ කාටත් පාමිනි ලීල
වපුරා තිරිඟු සිටුවාලා අල බතල
සරි කළො පැටවු අට දෙනෙකුට තුන් වේල

"නෙඩ් කෙලි" නමැති මේ පවුලේ පස් වැන්නා
සැමගේ හිත් දිනාගෙන ජීවත් වෙන්නා
දවසක් දියේ ගිලූනම සගයෙකු දන්නා
පැන බේරුවා තම එඩිතර කම පෙන්නා

මේ පැටි වියේ කළ දස්කම අගයන්න
විදුහල සමග මුළු ගම එක්විය දන්න
එඩිතර හිතක් ඇති "නෙඩ්" පුතු වනමින්න
රන් කාසියක් පිරිනැමුවා පලඳින්න

වරදක් දුටු තැනදි නිවැරදි කෙරුවේ ය
කාගෙත් දුකෙදි ඔහු හදවත උණු වේ ය
සෙල්ලම් පිටියෙදී මුල් තැන ලැබුවේ ය
නිවසට ගමට ඔහු එළියක් වූවේ ය

ගිල්වා "ඇලන්" ගේ හදවත දුක් ඇල්ලේ
පැටවුන් හැර පියා පණ මෙන් පෑ ලොල්ලේ
නොකියා හදිසියෙම දවසක අරුණැල්ලේ
"රෙඩ්" සැඟවුනා මරු හා ගේ ලඟ ඇල්ලේ

ඈ තනිවුවත් මේ ලොව දරුවන් සම ග
නෑ පෙන්නුවේ කාටත් එය දුකක් වග
දරුවන් හට කවා තියෙනා අහර සුඟ
ඈ හිස්බඩින් වැඩකෙරුවා ලන්ද ලඟ

අම්මා විඳින දුක පවුලක් රකින්න ට
මට නම් අම්මෙ බෑ දෑසින් දකින්න ට
මගේ සොයුරියන්ගේ හෙට ලොව හදන්නට
අවසර දෙන්න මට ඔබ ළඟ සිටින්න ට

ඉසුඹුව තබා පාසල් ගමනට බාලේ
ඔහු වැඩ කළා ගොවිපලෙ ඉන් පසු කාලේ
සොහොයුරු කැලට ලැබ දී පියෙකුගෙ ආලේ
"නෙඩ්" පෙන්නුවා උණු වූ හදවතෙ තාලේ

පැන දාමරිකයන් පිරිසක් මේ ගමට
ඇන ගිනි අවුලූවා පැල්පත් ලා බිමට
අණ කරමින් ‘තොපිව මරනව’ කිවු කලට
ඉණ හැඳි වතින් ගම්මුන් බැස්සා මගට

අසරණ ඇලන් හා ගැමියන් බියෙන් වෙලී
සරණක් නොලැබ දිව්වේ කතරටය යළී
"ග්ලෙන් හේවන්" හි මුඩු වූ බිම් කඩක වැලී
යන්තම් පැලක් ඇට වූවයි පවුල කෙලී

තද සීතෙන් මිදෙන්නට හිම වනන්තරේ
කුස ගින්නයි ලඟම හිටියේ නිරන්තරේ
ඉකිලන හඬ ඇසී සොයුරන් වරින් වරේ
නෙඩ්ගේ පපුව දා වැටුනයි දු‘ගින්දරේ

අඳුරට දෑස යොමුකර වේදනා වතින්
ඉන්නා මෑණි දුටු විට නෙඩ් දැවුනි නිතින්
නොම දෙමි නුඹලාට තව තව දුකක් ඉතින්
කී නෙඩ් කෙලී ගියෙ අහරක් සොයන සිතින්

දහවල සැඟව සිටි මේ අසරණ කොල්ලා
මැදියම් රැයේ පැලවෙත යළි එයි දුවලා
පානුත් කිරිත් මස් බිත්තර අත පිරිලා
ආ පුතු පවුල රැක්කයි අග හිඟ මක ලා

කැඳවා ඇලන්ගේ පැල වෙත අඳුර යලී
පොලිසිය අතට පත්විය පොඩි පුතා කෙලී
දහ අට මසක් ලැග සිරගෙයි දිනක යලී
ආ ඔහු වීය පවුලක් රැකි පියා යලී

පොලිසිය විසින් හොරෙකැයි හංවඩු ගැසුව
‘තක්කඩි නෙඩ් කෙලි’යි නීතියෙ ඇස වැසුව
රැඳුනා පොලිස් ඇස ඔහු දෙස ඉන් පසුව
නොකළත් කළත් ඔහු ඇත වරදට හසුව

සිතුවත් නොකර ඉන්නට මින් පසුව දඟ
පොලිසිය කැරකුනෙම නෙඩ් ගේ ගෙපැල ළඟ
පෙන්නා ඇලන් හා සොයුරුට පොලිස් රඟ
දස වද දි දී සිර කෙරුවයි ගෙයක දඟ

තම නිජබිමට පැන සිටි තැන නැති කෙරුවා
නොම කල වරදකට අම්මව සිර කෙරුවා
උන් පැල ගිනි තබා පවුලම නැති කෙරුවා
පලිගන්නෙමැයි නෙඩ් තිර අදිටන කෙරුවා

කැලයට වැදුන "නෙඩ්" හා සගයින් නඩය
නිදහස් කරනු ‘අම්මා’ ඒ නැගු හඬ ය
‘අසරණ ඇයට හිමි තැන ඇගෙ පැල් කඩය’
පිළිගනු! නැතොත් පෙන්වමි මරුවගෙ හැඩය

මැරුවා පොලිස් බටයින් සටනින් වියරූ
කෙළවර වුනා සැඟවුම් දිනකදි නුදුරූ
විය ”නෙඩ් කෙලී” නීතියෙ රැුහැණට ගොදුරූ
ඔහු එල්ලන්න අණ ලැබුනයි මැරෙන තුරූ

නිහඬව නිසසලව මේ දෙස බලා සිටී
මහ ජනතාව දන්නා මේ පුතුගෙ හැටී
හැට දහසකගෙ අදහස් කර එකට කැටී
හඬ නැංවුවා ඔහු මරණෙට නොයනු වටී

නීතිය නොතකලා ජනතා හද පැතුම
නෙඩ් එල්ලූවත් මැරුණේ නැත ඔහුගෙ නම
අවනීතියට එරෙහිව ගිය පුතුට මෙම
‘විරුවකු’ ලෙසින් අදටත් ගරු කරති සැම

- මලී දිසානායක

(image: http://our-home-theater.blogspot.com/2011/07/ned-kelly.html#!/2011/07/ned-kelly.html)

Monday, November 14, 2011

"වළේ" ඉඳං නාට්‍ය බැලූ හැටි - සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිළිබඳ අතීත ආවර්ජනාවකි! - රසික සූරියආරච්චි විසිනි




කාල යන්ත‍්‍රයක නැගී හෝ වෙනත් ක‍්‍රමයකින් හෝ අතීතයට යාමට හැකියාවක් ලබා ගත හැකි නම්, අප බොහෝ දෙනෙකු එදා ගත් තීරණ කිහිපයක් හෝ වෙනස් කර අදට වඩා වෙනස් වූ වර්තමානයක ජීවත්වනු ඇතැයි මට සිතේ. එසේ කළ හැකි නම් සහ තමන් එළිපිට කියන කරුණු සත්‍යයක්ම මිස අන් කිසිවක් නොවේ නම්, ඕස්ටේ‍්‍රලියාවේ අද සිටින අපේ සිංහල ජනගහනයෙන් හරි අඩක් පමණ තම සංක‍්‍රමණ අයැදුම් පත් ගාස්තුව ද ඉතිරි කරගෙන පින් කෙත හෙළ රන් දෙරණේ අද ද යහතින් කල් යවනු ඇත.

මා සම්බන්ධයෙන් නම් කිව යුත්තේ, සම වයසේ යුවතියන් පිළිබඳ කිසිසේත් සිත කරදර කර නොගෙන, නිසැකවම නිෂ්ප‍්‍රභා වෙන බව අපරදෘෂ්ටියෙන් දන්නා ප‍්‍රශ්න ඔවුන් ගෙන් නොඅසා, මා සොඳුරු අනාගත පියඹ මුණ ගැසෙන තුරුම, කුමර බඹසර අසපුවේ මා නිරාමිසව කල් ගතකරන්නට ඉඩ තිබුණු බවයි.

මා අතීතයේ ගත් කුමන තීරණ කුමන ලෙස වෙනස් කළ ද, කිසි දිනක එලෙස වෙනස් නොකරන එක් තීරණයක් ඇත. එය නම්, මීට වසර විසි අටකට කලින් විශ්ව විද්‍යාල පිවිසුම සඳහා අයැදුම් කරද්දී, උඩුගම් බලා පීනමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගේ මුල් තේරීම ලෙස සඳහන් කරන්නට ගත් නිවරද තීරණයයි.

එදා මා "ටැක්නිකල් හන්දිය" වෙනුවට ගලහ හන්දිය තෝරා ගත්තෙමි. පිළී ගඳ වෙනුවට මල් සුවඳ තෝරා ගත්තෙමි. පල් වී ගිය බොල්ගොඩ ජලාශය වෙනුවට සුන්දර මහවැලි නදිය තෝරා ගත්තෙමි. "ජේම්ස් ජෝර්ජ් ශාලාව" වෙනුවට "සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය" තෝරා ගත්තෙමි. කාල යන්ත‍්‍රයක නැගී අතීතයට යාමට අවස්ථාවක් ලදහොත් නැවත එලෙස කරන්නට ද කිසිසේත් ම නොපැකිළෙමි.

සොඳුරු හන්තාන කඳු වැටිය පාමුල, මහවැලි ඉවුර අසබඩ දිවෙන ගලහ මාර්ගයේ ආදරවන්තයින් ගේ වංගුව හෙවත් "කිසිං බෙන්ඞ්" පසුකර තුන් මහලින් සැදි, මල් කැටයම් පිරි, හිල්ඩා ඔබේසේකර සරසවි පාය දෙසට පා නගන කල දකුණු පසින් දක්නට ලැබෙන්නේ උඩරට කඳු අතර සරණ විට නිබඳ නෙත ගැටෙන රැළි ලියැදි වලින් යුත් කුඹුරක් වන් පි‍්‍රය උපදවන දසුනකි. මේ එදා පුරාණ ගී‍්‍රක රඟ මඩලක අර්ධ වෘත්තාකාර ආකෘතියට අනුව යමින්, පේරාදෙණිය සිරිලක මහා තක්සලාව අලංකෘත කල මහා කලාකරු, මහාචාර්ය වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් නිර්මාණය කර, දේශීය අභිවාහ්‍ය කලා රසිකයින් ගේ රංගන රසකාමය ප‍්‍රගමනය පිණිස දායාද කරන ලද එළිමහන් රංග පීඨයයි.

තම ස්වයං චරිතාපදානය වන "පිං ඇති සරසවි වරමක් දෙන්නේ" කෘතියෙහි මේ රඟහල පිළිබද සටහනක් තබන සරච්චන්ද්‍රයෝ මෙසේ පවසති.

"මනමේ නාටකයේ අභිරංගයක් ඉදිරිපත් කළ හැක්කේ තාත්වික රංගයට සුදුසු පරිදි හැඩගැසුණු ප්‍රොසීනියම් රංග භූමියක නොව, රඟ මඩලක යයි විශ්වාස කළ මම, එවැනි තැනක් පේරාදෙණියේ කඳු අතර එළිමහනේ වුව සකස් කරගත හැකි නම් මැනවයි සිතමින් උන්නෙමි. එකල මා වාසය කෙළේ සංඝමිත්තා කන්ද උඩ තුබූ ගෙවල් තුනකින් එකක ය. හැම දා ම කන්ද බැස ආට්ස් බ්ලොක් දෙසට යන මම, කඳු පල්ලේ වම් පසෙහි වළන් කැබැල්ලක ආකෘතිය දරන කඳු බෑවුමක් නිතර දකිමි. එහි කලින් තුබූ ලියදි වල් බිහි වී දැන් පඩි පෙළක් මෙන් සෑදී ඇත. බෑවුමේ පතුලේ සමතලා භූමි භාගයක් තිබේ. මේ ස්ථානය මා හැමදාම පසු කර යන නමුත් එය කෙරෙහි මගේ අවධානය යොමු වූයේ එළිමහන් රඟ මඬලක් ගැන සිතමින් හුන් දවස්වල ය. එය, ඇම්පිතියටර් යන නමින් හඳුන්වන ප්‍රේක්‍ෂාගාරයකට හා රංගභූමියකට සුදුසු ස්වාභාවික පිහිටීමකින් යුත් තැනක් නොවේ දැයි මම කල්පනා කෙළෙමි. පතුලේ සමතලා භූමිය සක් කරගත හොත් එහි නාට්‍යයක් රඟ පෑ හැකි ය. පේ‍්‍රක්ෂකයින් ට කඳු බෑවුමේ පඩි උඩ වාඩි වී නාට්‍යය බැලිය හැකි ය."

"මනමේ බිහි වූයේ 1956 නොවැම්වර මස තුන් වෙනි දා ය. එය එළිමහන් රඟ මඬලේ, සාම්ප‍්‍රදායික නාඩගම් රීතිය උල්ලංඝනය නොකර, අභීෂ්ට පරිසරයක රඟ දක්වන ලද්දේ 1958 පෙබරවාරි හෝ මාර්තු මස රාති‍්‍රයක ය."

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වීමේ මහානුභාවයෙන් "සරච්චන්ද්‍ර වළේ" සිටම සරච්චන්ද්‍ර නාටක නරඹන්නට මම වරම් ලදිමි. මනමේ, සිංහබාහු, මහාසාර, රත්තරං සහ එලොව ගිහින් මොලොව ආවා ඒ අතර වූ බව මගේ මතකයයි. විජය නන්දසිරි, නිශ්ශංක දිද්දෙනිය, ජය ශී‍්‍ර චන්ද්‍රජිත්, ලලිතා සහ යශෝදරා සරච්චන්ද්‍ර වැනි ප‍්‍රවීන නළු නිළියෝ එදා පේරාදෙණිය නාට්‍ය කලා උලෙළේ දී වේදිකා ගතවුණු සරච්චන්ද්‍ර නාට්‍යයන් හි රඟ පෑ අයුරු මට අද ද දෙනෙත් ඉදිරියේ මැවී පෙනෙන්නාක් සේ ය. එපමණක් නොවේ. ජයන්ත චන්ද්‍රසිරි ගේ අත්, සුනන්ද මහේන්ද්‍ර ගේ පොකුරු වැස්ස, සාලමන් ෆොන්සේකා ගේ අහිමි ජීවිත යනාදී අග‍්‍ර ගණයේ දෘශ්‍ය කාව්‍යයන් රැසක් නරඹා රස විඳින්නට මට හැකිවූයේ ද මේ සරච්චන්ද්‍ර එළිමහන් රඟහල නිසා ය.

කුසුම්සිරි ලියනාරච්චි සහ යසෝදරා සරච්චන්ද්‍ර දෙපළ ගේ නව නිෂ්පාදනයක් ලෙසින් මෙදා (2009) ඕස්ටේ‍්‍රලියාවේ දී අප හමුවට ආ ”රත්තරං” සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ ආරම්භය ගැන එදා සරච්චන්දුයෝ මෙසේ පැවසූහ.

"ඊළඟ අවුරුදු තුනේ මම, ගුවන් විදුලි නාට්‍යයක් වශයෙන් පළමුවෙන් රචනා කරන ලද 'රත්තරන්' හා 'එලොව ගිහින් මෙලොව ආව' යන කෙටි නාට්‍ය දෙක නිෂ්පාදනය කෙළෙමි. 'රත්තරන්' නිෂ්පාදනයට තොවිල් සම්ප‍්‍රදායේ නැටුම් වුවමනා වූ බැවින් වැලිගම නිවැසි ගෝමිත් ගුරුන්නාන්සේ මම පේරාදෙණියට ගෙන්වා ගතිමි. 'එලොව ගිහින් මෙලොව ආව' නම් නාට්‍යයට ආංගීකාහිනය රචනා කෙළේ මිහිරිපැන්න ය. ඒවා නම් විශිෂ්ට කාල්පනික නිර්මාණ බව කිව යුතුය."

"මේ නාට්‍ය දෙක නිෂ්පාදනය කරද්දී මා වෑයම් කෙළේ නාඩගම් ශෛලියෙන් බැහැරට ගොස් ගැමි ශාන්ති කර්ම හා ඒවායේ අඩංගු පෙළපාලිවල ශෛලියෙන් අපට යමක් උකහාගත නොහැකි දැ යි බැලීමට ය."

එදා අඩ අදුරේ ගිලූණු සරච්චන්ද්‍ර රඟහලේ සිට මම බොහෝ වේදිකා නාටක නැරඹුවෙමි. ඉන් නව නළු රස සිත් සේ වින්දෙමි. මතු දිවිය පුරාවටම දියෙන් කිරි වෙන්කර රස විඳින්නට ද, කඩුව ද, කොපුව ද, මනමේ කුමරිය ද යන ති‍්‍රත්වයම රැක ගන්නට ද, බාහු හා සීවලී කෙසේ වෙතත් අඩු ගණනේ සුප්පාවිය වත් ලෙන් දොර රඳවා ගන්නට ද, අවැසි පන්නරය ඉන් ලබා ගත්තෙමි.

අහා! එවන් සුන්දර සමයක්!

පෙර කී පරිදි කාල යන්ත‍්‍රයක පිහිටෙන් යළිත් අසූවේ දශකයේ පූර්ව භාගයට යන්නට ඇත්තම්, මා පේරාදෙණියේ සදහටම නතර වීමේ තීරණයක් ගන්නට ද සෑහෙන්න ඉඩ තිබේ.

සරච්චන්ද්‍ර රඟහලට නුදුරින් වැටී ඇති ආදරවන්තයින් ගේ මග දිගේ මද දුරක් ඇවිද ගොස් ඉන් පහළට බැස අනතුරුව කුඩා ඒ දඬු පාලමක් තරණය කර මහවැලි ගං ඉවුර අසලට පිවිසිය හැකි බව පෙර පින් පල දෙවා, මේ මග ගිය දෙපා මිස අනෙකෙකු නොදන්නා තරම්ය. හරිත උඩුවියනකින් ද, හරිත කලාලයකින් ද සුන්දර වූ ද, ලංකෘත වූ ද, කන් පිනවන, රන් ස්වරයෙන් යුතු කෝකිල කූජනයෙන් හෙබි වූ ද මේ අඩවිය වනාහී එක් විසි වියේ කොල්ලන් කෙල්ලන් පේ‍්‍රමයෙන් තම මන රංජිත, නන්දිත කරගන්නා බිමක් මිස මැදි වියපත් අතීතකාමීන් සරණ පෙදෙසක් නම් නොවේ.

මේ සොදුරු අඩවියේ දී පෙමෙන් වෙළෙන තරුණයෙකු ලබන ලාලසී අත්දැකීම් ද පෙර කී නව නළු රසයෙන් කිහිපයක් ම, ඊටත් වඩා තීව‍්‍ර ලෙස, ඉන් විසිපස් වසරකට පසු වුව ද, යළි යළිත් මවන්නට සමත් බව නොකිව මනා ය.

වැලිකතරක දුහුවිලි පොදක් සේ නොදැනීම අතැඟිලි අතරින් ගිලිහී යන්නා වූ, පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා සබැඳි ඒ සොඳුරු අතීතය පිරී ඇති, පෙර කී දෙයාකාරයේ ම, මනරම් මතක සටහන් සියල්ල, අද තම මැදි විය ගෙවන්නෙකුට පෙර සේ ම එක හා සමානව අගනේ වේ.

අහෝ! කාල යන්ත‍්‍ර වනා හී විද්‍යා ප‍්‍රබන්ධයන් ට සීමා වූ මිත‍්‍ර්‍යාවක් පමණක් ම ය!

ඉදින්, එවන් කාල යන්ත‍්‍රයක පිහිට කිසිසේත් ම නොලබා, මෙම සරච්චන්ද්‍ර නාට්‍ය ද්විත්වයේ රසහව් මෙලෙස "දකුණු කුරු දිව" ලෙස කව් බසින් නම් ලද ඕස්ටේ‍්‍රලියාවේ දී ජීවමානව විඳින්න ට අවකාශ ලැබීම අප ලද මහරුතම භාග්‍යයක් නොවන්නේ ද?

මහවැලි ගඟ බඩ නව දැලි හේනේ පෑ රැඟුම් කෙසේ වෙතත්, පෙර කී සොදුරු හන්තාන කඳු පියසේ ම වුව ද සුනිල මහවැලි නදියෙන් වෙන් කර තිබුණා වූ ශුෂ්ක කලාපයේ "කම්මලක්" තුළ සිව් වසරක සිර දඩුවමක් ගෙවූ හේතුවෙන් දෝ, මට "සරච්චන්ද්‍ර නාටක" බොහොමයක් "සරච්චන්ද්‍ර වළේ" සිට රස විඳීමෙන් ඔබ්බට යමක් කල නොහැකි විය.

එදා ලඬ්කාද්වීපයේ දී සරච්චන්ද්‍ර නාටකයන් ට තම රංගන දායකත්වය සැපයූ කලාකරුවෙකු වන නාට්‍යවේදී චම්ප බුද්ධිපාල ගේ සංවිධාන මූලිකත්වයෙන් සිඞ්නි නුවර පැවැත්වුණු "රත්තරං" සහ "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය ද්විත්වයේ දර්ශනයන් හි දී අත්වැල් ගායනයෙන් සහභාගී වීමට මා දුහිතෘ කුමරියට අවස්ථාවක් ලැබීම මට රත්තරං වලට වඩා වටින්නේ ඒ නිසා ය. හරස් මාරු වූ මගේ ජානයෝ එදා මා නොලද ඒ වරම මෙදා ලදහ. තුටූ කඳුළු මුල් වරට මා නෙත නැගිණි.

එදා ඒ ගොරහැඩි "කම්මලේ" සමකාලීනකයෙකු වූ මා ළබැඳි ජයන්ත රත්නායක නම් මාර්ග තැනුම් සගයා "රත්තරං" නාටකයේ පුතා ගේ භූමිකාවට පණ පොවමින් මා නිසැකවම කිසි දිනෙක පහස නොලබන ගිරි ශිඛරයක් තරණය කරනු දුටු මොහොතේ පෘථග්ජන ම සිත නැගි මාත්සර්යය, උන් ලද ඒ ජය නිසාවෙන් මා නෙත එකම දිනයේ දෙවෙනි වරට නැගි තුටු කඳුළින් සමථය කර ගත්තෙමි.

-රසික සූරියආරච්චි

Photos: Buddika Hetttantri, Robin Bosco

Saturday, November 12, 2011

මගේ ආලය - හේමාල් ජයවික්‍රම

සුපුරුදු පරිදි රෑ කෑමක් ලෑස්ති කරල තිබුණ මා සමග එකට විශ්ව විද්යාෑලයේ ඉගෙන ගත් මිතුරෙක්. ඉතිත් අපි කා බී හමාර වෙලා ගැහැණු උදවිය වෙනම ද, පිරිමි උදවිය වෙනම ද කථා බහ කරමින් සිටියෙමු.

“හරිම අහිංසකයා, මිනිහට වුණේ වැඩිය තැලිල පොඩි වෙලා හිටියෙ නැති කම අණ්ඩර කනවා ලේසියෙන්ම. මොකක් දෝ අණඩරයක් කාලා, එක්සෑම් ඇණ ගෙන අන්තිමට බීලා පිස්සෙක් වාගෙ හිටියා ලූ පස්සෙ ගම් පළාතේ. දවසක් කෝච්චියට නාවලපිටිය පැත්තෙදි අහුවුණා. කියන්නෙ නම් මිනිහ පැන්න කියලා. පව් හරිම අහිංසකයා. හොඳකම ඕනෑවට වැඩියි.”

එය ඇසුණ විගස මගෙ ඉහමොළ රත්වුණා. මම හනික ඔවුන්ගෙන් සමු ගෙන කාරයට ඇවිත් එය පණ ගැන්නුවෙමි. බිරිඳට ද එය ඇසෙන්න ඇති. මම ඇගේ ඉරියව් දැක්කෙමි. ඇය එය සඟවා පුතා ද කැටුව මා පසු පස විගසින් විත් කාරයට ගොඩවූවාය. කිසිවකුටත් නොකියාම අපි පිටත් වුණෙමු. කාරය වේගයෙන් ඇදෙද්දී මගේ සිත අතීතයට ගමන් කළා.

***

මට පුදුමත් හිතෙනවා, සමහරෙක් මගෙ යාළුවන්ට තිබූ බිය සැක නැති ගතිය ගැන එයාලට පහසුවෙන් කෙල්ලක් ගාවට ගිහින් අහන්න පුළුවන් කම තිබුණා එයා මට ආදරේ ද කියලා. ඉතින් කෙල්ල කැමැති වුණත් නැතත්, එයාලට ඒ අවස්ථාවට මුහුණ දීලා, පරෙම තිඵලය කුමක් වුවත් සාමාන්ය විදිහට ජීවත් වෙන්නට හැකියාව තිබුණා.

නමුත් මට නම් එහෙම දේවල් කරන්න තියා හිතා ගන්න වත් බැරිව සිටියෙ. කොහොම ද එකට අවතීර්ණ වෙන්නෙ කියලා. “කන්න වුනොත් එහෙම?” ඒ කීවෙ අපේ භාවිතයෙන් කෙල්ල කිසියම් සම්බන්ධයකට “කැමැති නැහැ!” කියනවට.

කෙල්ලන් සමග ආශ්‍රය කිරීම මෙන් ම වල්පල් කතා කිරීම නොහොත් “සැල ගැහීම” වැනි දේවල් වලට නම් මම හරිම දක්ෂ“යෙක්. ඒවට නම් කෙල්ලො සාමාන්යනයෙන් මට කැමති බව මට දැණුනා. හැබැයි මම දැනන් සිටියෙ නැහැ ඒ ඇයි කියලා. එයාලා මා කී දේ අසා සිටින්න, මා ඇසුරු කරන්න, මා සමග එකට යන්න එන්න කැමැති වුණා.

“අනේ අහිංසක කොල්ලා, තැලිලා පොඩිවෙලා නැහැ, ඉතින් මොකට ද බය වෙන්නෙ”, එහෙම හිතෙන්න ඇති එයාලාට. ඒත් මට එයාලා කා සමඟ වත් ආදරයට සම්බන්ධ යමක් නම් කතා කිරීමට කොහෙත්ම හැකියාවක් තිබුණෙ නැහැ.

මගේ යහළුවන් අතර සිටියා ලස්සන කෙල්ලක්. ඇය සිහින් උස පැහැපත් කෙල්ලක්. වටකුරු මුහුණ සහ දිගු නෙත් හිමි වූ ඇය හරියට මං දැකපු හින්දි චිත්‍රපටියක නිළියක් වාගේ. හේමා මාලනී!

මට නම් එයා ගැන හරි ආදරයක් දැනුණා. නමුත් මට ඇයට මගේ අදහස් නම් මේ කල්පයට කියා ගන්න බැරි වුණා.

ඒත් ඉතින් මට බිය වෙන්න නම් කාරණයක් වූයේ නැහැ. මගේත් හැඩහුරු කම, මුහුණෙ පෙනුම, කඩවසම් බව අනර්ඝ නොවුණාට ලස්සන කෙල්ලකගේ හිත ගන්න බැරි තරම් නරක බවක් තිබුණේ නැහැ. මා ඉගෙන ගන්නා පාඨමාලාවත් මට ඉතා ඉහළ අනාගතයකට අත වැනූ නිසා, අනෙක් බොහෝ දෙනෙකුට වැඩිය වාසියක්ද මට තිබුණා.

දිනක් මම මගේ හිතේ අදහස මගේ ඉතාම ළඟ මිතුරා, ප්‍රගීත් ට කීවෙමි. ඔහු සිටියේත් අප උන් මහලේ ම යි. නමුත් මම මගේ කාමරේ මිතුරාට, එනම් රූමාට නම් මේ බව කිසි දිනෙක නොකීවෙමි. සුරේෂ් මා එතරම් ප්රිමය කළ කෙනෙක් නොවේ. මා හිතුවේ ඔහු කුහකයෙකු කියලා යි. නමුත් ප්‍රගීත් නම් එහෙම නැහැ. ඔහු මගේ කුළෑටි කම හොඳින් තේරුම් ගත් හොඳ මිතුරෙක් වුණා. මගේ හැම දෙයක් ම එයාට කියන්න පුළුවන් කමක් මට තිබුණා.

මා විනීතාට ආදරේ කීවාම ඔහු මට ඒ ගැන හුඟක් අවවාද අනුශාසනා කළා. “කොහොම ද ආදරය ප්‍රකාශ කරන්නේ” කියලා කියා දුන්නා. ඇය තනිවම හමුවුණ වේලාවක කෙලින් ම කටින් ම අහන්න කියලා කීවා. මට ඒකට නම් කොහෙත් ම එකඟ විය නොහැකි වුණා. එනිසා ඔහු මට කීවා, පුළුවන් නම් විනීතාට පුංචි පහේ තෑග්ගක් දෙන්න කියා. මා ඒකට එකඟ වුණා.

ඒ අනුව දවසක් මම විනීතා සහ ඇගේ මිතුරියන් හමු වුණෙමි. මා රැගෙන විත් සිටියේ විනීතාට දීම සඳහා කඩන කුඩයක්. බොත්තම එබූ සැනින් එය ස්වයංකීරයව දිග හැරෙන විදිහේ කුඩයක්. ඒ කාලෙ එවැනි කුඩ වැඩි භාවිතයක් තිබුණේ නැහැ.

මං ඒක එයාට දීලා කීවා ඒක මගෙන් පොඩි තෑග්ගක් කියලා. මා කීවා “දේශනවලට හෝ ශාලාවේ සිට පීඨයට යන-එන විට, අව්වෙන් සහ වැස්සෙන් පරඩි වේසම් වීමට ඒක භාවිතා කිරීමට” ය කියා.

ඇය එය ඉතා ආශාවෙන් රැගෙන මට මුව නොසෑහෙන සේ ස්තුති වන්ත වුණා. එදින මගේ හදවතට දැනුන සුවය නිම් හිම් නැති වුණා. ඒක වචනයෙන් පරවි කාශ කරන්නට බැහැ. හරියටම ‘වර්ෂාවක් සමඟ එන සිසිලක දි ඇඟ කිළිපොලා යනව’ වාගේ හදවත තුළ ඇති වුණ දැනීමක්. නමුත් සිතට හරිම උණුසුම් භාවයක් තමා දැනුණෙ.

ඒ සිද්ධියෙන් පසු ඈ කෙරෙහි මගේ ආදරය තව තවත් වැඩි වුණා. ඇය සහ ඇගේ මිතුරියන් හමු වීම මගේ දින චර්යාව බවට පත් වුණා. එහෙත් ඒ කිසිදු අවස්ථාවක, මට ඇයට මගේ ආදරය කීමට නම් නො හැකි වුණා. පරත් ගීත් දිනක් මට කීවා, පුළුවන් නම් ලියුමක් ලියා දෙන්න විනීතාට දෙන්න කියලා. මා ඉතාමත් අකැමැත්තෙන් ලියුමක් ලියලා ඔහුට දුන්නෙ, කිසි කෙනෙකුට එය නො කියන ලෙසත්, ඇයගේ අතට ම එය දීමටත් කියා ආයාචනය කරමිනුයි. ඔහු ඒ වැඩේ බාර ගත්තා.

ඉන් පසු මං ඇය හමු වීම මඟ හැරියා. මට පුදුම විදිහේ ලැජ්ජාවක් හිතට දැනුණා. ඇය කුමක් කියාවි ද?

සති කිහිපයක් ගත වුණා. නමුත් මට පිළිතුරක් නම් ලැබුණේ නැහැ. ඉඳලා හිටලා විනීතා මට මුණ ගැසුණත් ඇයට හරියට මුහුණ දීමට මට නො හැකි වුණා. නමුත් එ වැනි අවස්ථාවල දී ඇය නම් වැඩි වෙනසක් පෙන්වූයේ නැහැ. “වෙන දාට වඩා ඇය මා සමග කුළු පග දෝ?” දැයි කියා මට හිතුණා.

තවත් සති දෙකක් පමණ ඉක්ම ගොස් දිනක් මට පීඨයට තැපෑලෙන් ලියුමක් ලැබුණා. මා දැන සිටියේ නැහැ, එය කාගෙන් ද කියලා. කවදා වත් නො දුටු අත් අකුරු දකිත්ම මට සැකයක් පහළ වුනා. සමහර විට විනීතාගෙන්?

මං එය රැගෙන ඉක්මනට කඩා බැලූවා. ඒක දිග ලියුමක්. අමතා තිබුණේ සදාදර පරනා සන්න කියලා! ඒත් මොනවා ද දන්නෙ නැහැ එයා මට ලියා තියෙන්නේ?

මම ලියුම සාක්කුවේ දාගෙන හනික පියමන් කොට ගොස් කාමරයට වැදී අගුළු දා ගෙන එය කියවන්නට වීමි.

“ඔයා විසින් එවන ලද ලිපිය ලදිමි. එය බලා මා වින්ද සතුට මෙතෙකැයි කියන්න බැහැ. ලිපියක් පමා වූවාට මං ඔයගෙන් සමාව අයැද සිටිනවා. ඔයා මට ආදරය කරන බව දැන ගත් වේලේ මට ඇති වූ සංතෝෂය කියා ගන්න බැහැ. මං ඒක තනිව විඳ ගත්තා. ඉතින් මගේ වලස් පැටියෝ, මමත් ඔයාට හරිම ආදරෙයි. (මොනවා එහෙම ඇයි එයා මාව අමතන්නෙ, මගේ කොණ්ඩෙ නළලට වැටිලා නිසාද? ඒත් කාරි නැහැ, ආදරයට වෙන්න ඇති. මට මතකයි, එයා මට දීපු රුසියන් නවකථාවකත් ඒ විදිහේ ආමන්තරත් ණයක්. මං ඒ පොත රූමාටත් පෙන්නුවා දවසක්.) අපේ ආදරය නුදුරු අනාගතයේ සඵල කර ගෙන ඔයත් සමග එකට, එකම පැලක ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරමි.”

“නමුත් ඔයා දන්නවා නෙ, අපි ඉන්න තත්වය. අපි විශ්ව විද්යාුලයේ ඉගෙන ගත්තත් අපේ ඉගෙනීම් කටයුතුවලට බාධා වන ලෙස අපේ ආදරය පවත්වා ගෙන යාමට, මට හිත දෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන දා වගේ කිසි වෙනසක් නො පෙන්වා දිගටම ආශ්ැරය කරමු. අපේ යහළුවන් කිසි කෙනෙක් දැන්ම අපේ සම්බන්ධය දැන ගන්නවාට මම කැමැති නැහැ. ඒ මොකද අපේ ගෙදරට ආරංචි වුණොත්, අපේ සම්බන්ධයට බාධක පැමිණිය හැකියි. මගේ මස්සිනාට මාව ඉක්මනට බන්දලා දේවි. එනිසා අපි සිතින් පමණක් එකිනෙකාට ආදරය කරමු. ඔයා වෙනදා වගේ මා සමග කථා කරන එක පවා අඩු කරන්න.”

මා ජීවිතයේ දී ලත් ලොකු ම සතුට එය යැයි මට හැඟුණා. මට ඇය නිතරම මතක් වුණා. ඒ ලිපිය කියවන හැම මොහොතකම ආදරයෙන් මගේ මුළු ගතත්, සිතත් කුල්මත් වුණා. හරිම පුදුමයක්. කිසිම ලෙසකට මනෝමය ලෙසින් පුබුදුවා ගත නො හැකි සර්වාංගයම, මේ ලිපි කැබැල්ලෙහි අකුරු කිහිපය නිසා පුබුදු වෙලා.

මෙහෙම කලක් ගත වෙද්දී, මට ඇය ගැන සිතන්නෙ නැතිව ඉන්න බැරි වුණා. රාතිරුසියේදී නිදා ගත්තේත්, උදයේ අවදි වුණේත් ඇය ගැන සිතලා. ඇඳේ වැතිරී සිටීමට මා ආශා වුණේ, ඇය ගැන සිතන්න. මම ලියුම් ලීවෙමි. ආදර හසුන් සමහරක් ඒවා පිටු තුන හතර දිගය. ඒත් මට කියා ගන්න බැහැ, ඇය කෙරෙහි මගේ තිබුණ ආදරය. මට ඇගෙන් ද නොවරදවා ම පිළිතුරු ලැබුණා. ඇගේ ඉල්ලීම පිට මම වෙනස් වෙන්නට පටන් ගත්තෙමි. හොඳින් ඇඳ පැළඳ ගැනීමට මා පටන් ගත්තේ, ඇගේ උවමනාවට. මට නො දැනුවත්වම ටිකෙන් ටික මගේ අධ්යාමපන වැඩ පවා අතපසු වුණා.

මගේ කාමරේ යාළුවා, සුරේෂ්ට මගේ වෙනස තේරුණා. එයා මට කොලොප්පම් කළා. මගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙලාලූ. කෙල්ලක් වත් යාළු වෙලා ද?

මා ඔහුට ආඩම්බරකම් පෑවා. කෙල්ලක් ඉන්න බව අඟවලා. ඒත් කීවෙ නැහැ කව්ද කියලා. එයා අනුමාන කරලා විනීතාගේ නම කිව්වම, මට දැනෙන සතුට කියන්න බැරි තරම්. මම එය සඟවා ගැනීමට නිරර්ථක උත්සාහයක යෙදුනෙමි.

ටික කාලෙකින් අපේ මහලයේ සිටි හුඟ දෙනෙක් ද පසුව මගේ බැච් එකේ හැමෝම මට කෙල්ලක් ඉන්නවා කියලා දැන ගත්තා. ඒත් ඒ කවුද කියල, කිසි කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ. මා සාමාන්යලයෙන් ලැජ්ජාශීලී නිසා කවුරුවත් ඇසුවෙත් නැහැ. සමහර විට එයාලා අනුමාන කරන්න ඇති. ඒ මා සමඟ හැමදාම කලා කේන්ද්රලයේ චලන සිතුවම් බලන්න ගිය, ගැහැණු ළමෝ කණ්ඩායමේ කවුරු හරි කියලා.

ඒ විනීතා කියලා නම් විශ්වාස කරන එකකුත් නැහැ. ඒ තරමටම එයා ලස්සනයි. කොල්ලො නම් ඊර්ෂ්යා වෙන්න ඇති එහෙම හිතන්න වත්.

ඒ කෙසේ වුවද, මට හරිම හුදකලා බවක් දැණුනා. විනීතාගේ ඉල්ලීම පිට, මට ඇය හා තනිව කථා කිරීමට නොහැකි වුණා. ඉඳලා හිටල දැක්කට ඒක හිතට මදි. මට ගොඩක් දේවල් තිබුණා, එයා හා පැවසීමට. ඒවා එකින් එක කාලයත් සමඟ වැලලී ගියා. දිනෙන් දින ඇය හා දෙඞීමට අලූතින් දේවල් එකතු වුණා.

මගෙත් ඇගෙත් පළමු නම් ගැලපෙන හැටි! ප්‍රසන්න සහ විනීතා, ඉංගීරළමුසියෙන් ලිව්වොත් එකම අකුරු ගාන, ඒවාට ඉලක්කම් දැම්මොත් එකතුව! ඒකට කියන්නේ අංක විද්‍යාව, හරිම බොළඳ ලෙස මගේ මනස විකෘති වෙලා.

මෙසේ කාලය පසුවෙද්දී අපේ වසර අවසානයේ විභාග සමය එළඹුනා. හැම දෙනාම බොහොම මහන්සි වෙලා වැඩ කරනවා. කතා කරන්න තියා කන්න බොන්න වත් වේලාවක් නැහැ. කොරිඩෝරය දිගේ යන එන අතරේ යහළුවන් හමු වූවත් කතා නැතිව සිතින් ගණන් හද හදා යනවා. බවුන්ඩ්රිස ලේයර් තියරි, බර්නොයිලීස් ඊක්වේෂන්, බෙන්ඩිං මෝමන්ට්, මේටිරතා්ක්ස් සහ මැතමැටික්ස්.

“මට නම් මැත කොහෙ හරි දා ගන්න පුලූවන් මචං. උඹේ කට මැත, කට මැත දාලා මැත ඇණ ගනින්.” කාමරයකට ගියොත් “තෙල බෙදුවා ඇති යන්න, යන්න” කියලා පන්නා ගන්නවා.

නමුත් මගේ සිත නම් ව්යාදකූල වෙලා. මට පාඩම් කිරීමට සිත එකලස් වෙන්නෙ නැහැ. කුළුඳුල් ආදරය මෙ තරම් ප්තරබල බව දන්නවා නම්, මා කවදා වත් මේක පටන් ගන්නෙ නැහැ.

ආදරය කරන කොට පීඩනය අඩුයි, හොඳට ඉගෙන ගන්නත් විභාග සමත් වෙන්නත් උදව් වෙනවා, කියලා අහලා තියෙනවා. නමුත් මට වෙලා තියෙන්නෙ ඒකෙ අනෙක් පැත්ත. ආදරය නිසා මගේ පීඩනය වැඩි වෙලා.

කෝ ඉතින් කතා කරන්න තියා, දකින්නවත් විදිහක් නැහැනේ. විනීතාගේ කෝලම්. මෙහෙම ඉවසන් ඉන්න පුළුවන්ද?

ඇය දැක ගැනීමට කාලෙකින් බැරි වුණා. අවසානයේ ඉවසුම් නැතිම දිනෙක මම පාරට බැහැලා, ඔහේ ඇවිද ගෙන ගියෙමි.

“අඩෝ උඹ පිස්සු කෙලින්නෙ නැතිව කරෑෙ ම දාපං!” කොල්ලො මට හිනා වුණා. උන් හිතුවද දන්නෙ නැහැ මට පිස්සු කියලා. ඇත්තටම මට පිස්සුද? මම අක්බාර් පටු පාලම පහු කරලා ආවෙමි. මා ළඟ කඩන කුඩය අතේ. විනීතා එය මට ආපසු දුන්නා දවසක් හදිසියේ ඇති වූ වැස්සක් නිසා. මට එය පාලමෙන් පහලට වීසි කරන්න සිතුණා. මං දැන්නෙ නැහැ ඒ ඇයි කියලා.

පාලම පහු කරලා යන විට මට දක්නට ලැබුණා ලස්සනට කහ පාටට මල් හලමින් සිටි මැයි ගහ යට සිටිනා ජෝඩුවක්. කවදා ද මාත් ඔය වාගේ විනීතා සමඟ ඉන්නෙ?

මම ඔවුන් පසු කර ගෙන ගොස් ලවර්ස් ලේන් එක දෙසට හැරුණෙමි. මගේ ඇස් කොනට මට හැඟූණා ඒ විනීතා කියලා. මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා.

මා සිතූවේ “විනීතා කාව හරි කොල්ලෙකු සමඟ නිකමට කතා කරනවාදෝ?” යි කියලා. කෝකටත් මම ආපසු හැරී නැවත නෙත් අයා බැලූවෙමි. ඒ දෙදෙනා බොහොම සමීප වෙලා සිටියෙ නැතත් ආදරවන්තයින් බව නම් එක පාරටම කියන්න පුළුවන්.


“ඔව් ඒ විනීතා, මගේ විනීතා. මගේ කාමරේ යාළුවත් සමග එකම බංකුවක සමීපයෙන් වාඩිවෙලා ඉන්නව.”

මගේ හිසට යමෙකු මිටියකින් ගසන්නාක් වැනි බරක් එකවරම දැණුනා. හිස රත් වුණා. බඩ දෑවා. විනීතා මා දෙස බලා ලජ්ජා සහගත සිනහවක් පා ඉවත බලා ගත්තා. මා පියවර කිහිපයක්ම ගියා නොනවත්වාම කර කියා ගත හැකි දෙයක් නොමැතිව. මට විතරයි එයා නීති දැම්මෙ, දැන් කොහොමද මෙයා එක්ක එහෙම ඉන්න? මට බැහැ, මට බැහැ, දීනයකු ලෙස කරබා ඉන්න. මම හැරී ඔවුන් වෙත ගියෙමි.

“විනීතා ඇයි ඔයා මට මෙහෙම කළේ?” ඇය ම දෙස විශ්මයෙනුත් බියෙනුත් බලා සිටියා. මගේ මුහුණ ඒ තරමට ම බියකරු වෙලා තියෙන්න ඇති.

මගේ මිතුරා අතින් වේගවත් සංඥාවක් කරලා “යනවා ඕයි” කියල කීවා.

ඉන්පසු සිදු වූ දෙයක් මට මතක නැහැ. මගේ හිස අවුල් වෙන්න ඇති. මං මිතුරාට කඩා වැදිල ගුටි කන්නත් ඇති. මං දන්නෙ නැහැ. මං අනුමාන කරලයි, මේ කියන්නේ.

නමුත් මට කාගේ දෝ හඬක් ඇසුණා. ඒ හඬ මගේමයි. නමුත් යකෙකුගේ සේ භයංකාරයි. ඒ හඬ මාව මෙහෙයවන්න පටන් ගත්තා. ඒ අනුව මම ලවර්ස් ලේන් එක දිගේ පහලට දිව ගොස්, එතැන තිබූ පඳුරු ගොන්නක් තලාගෙන, පාලම යට මහවැලි ගං ඉවුරට ආවෙමි. එදා ගඟ දෙගොඩ තලා යන වෙලාවක්. අනුමානයක් නැහැ, පැන්නොතින් සුළු මොහොතකින් මා ගිලී මියෙනවා ඇති.

මොනව ද, වැඩිම වුණොත් විනාඩි දෙකක් ජීවිතේ ලොකුම දුක විඳින්න වෙයි. ඒක මේ හදවතට දැනෙන දුක සමඟ සංසන්දනය කරන කොට, නො සලකා හැරිය හැකියි. ඒකත් මොන දුකක් ද? මට හිත කියනවා පනින්න කියලා. කොහොම ද මෙ තැන් සිට ජීවිතයට අළුතින්ම මුහුණ දෙන්නෙ. මා මිය යනවා, මැරෙනවා, දිවි නසා ගන්නවා.

අනේ මගේ දෙමව්පියන් මා ඉංජිනේරුවෙකු වෙන කම් බලාන ඉන්නෙ, පවුල ගොඩ ගන්න. වෙන පවුලකට මෙන් ආභරණයක් වෙනවා වෙනුවට, මට මුල ඉඳලා ඔක්කොම ගොඩ ගන්නයි නියම වෙලා තියෙන්නේ. මගේ නංගිලා, මල්ලිලාටත් ලොකු ආදර්ශයක් වේවි කියා, ගමේ හිතෛෂී හැමෝම කිව්වා. මං ආදරණීය කීකරු පුතෙක්, දයාබර සහෝදරයෙක්. මං නැති වෙලා කොහොමද?

මේ පාර නම් මගෙ විභාගයෙනුත් අසමත් වෙන එක ආයෙ කියන්න දෙයක් ද? ඉතින් මොකෝ ඕක ආයෙත් සැරයක් කරන්න බැරුවායැ, ජීවත් වෙලා හිටියොත්. අණ කරන්නෙ පණ තියාගන්න.

අම්මාගේ වදන් මට ඇහෙනවා. අම්මා මා කොතරම් ආදරයෙන් බලා ගත්ත ද? රෑ සිහිනයක් දැක බය වෙලා හඬ හඬා මා බලන්නට බෝඩිමට ආවා. ඒ මං ඉස්කෝලෙ බෝඩිමේ ඉන්න සන්දියේදි.

“ඒත් අම්මෙ, මං කොහොම ද මේ හැම දෙයක්ම නිවැරදි කරලා ජීවිතයට යළි මුහුණ දෙන්නෙ. මට යන්න අවසරයි” එසේ සිතා මං පනින්න හැදුවා.

අම්මා කොච්චර නම් වැළපෙයි ද? මා නිසා. මගේ අයියා අකාලයේ මිය ගිය පසු දින ගණනක් ඇය හැඬුව හැටි මට මතකයි. යම්තම් උමතු ලෙසත් හැසුරුණා, අවුරුදු ගාණක්ම. ඉතින් මාත් නැති වුණොත්. මං ආවේගය මැඩ ගෙන, පසු බා සිට, එ අසළ වූ ගලක වාඩි වුණා. මට මහ හයියෙන් හැඬුණා අම්මා නිසා.

එතකොට තමයි සිහිනෙන් වගේ මට ගැහැණු කඩ හඬක් ඇසුණෙ.

“ප්‍රසන්න ඔයා මොකද තනිවම ඔතැන කරන්නෙ?”

මම හැරී බැලූවෙමි. විනීතා, ඇය ඇවිත්. ලැජ්ජාවෙ බැහැ. මම නැගිට්ටේ ගඟට පනින්නයි. නමුත් ඈ මගේ පයින් අල්ලාගෙන බිම පෙරලූණා.

“මට මේ ගමන යන්න දීපං පරට්ටි!”

“බැහැ ඔයාට තනිව මේ ගමණ යන්න දෙන්න බැහැ. ඔයා පැන්නොත් මාත් පනිනවා!”

“මොනවා විනීතා මා සමඟ එකට දිවි නසා ගන්නවා?” අදහගන්නත් අමාරුයි. මට එක පාරට ම ඇය ගැන දුකක් හිතුණා. මා ඇයට බැන්නත්, ඒ බව නොසලකා එයා මට ආදරයෙන් කතා කරනවා. මේ අර ගහ යට අර ජඩයත් එක්ක සිටි විනීතා ම ද? නැති නම් ඒ වෙන කෙල්ලක් වත් ද? එතැන සිටියෙ?

මා මැරුණත් විනීතාට නම් මැරෙන්න ඉඩ දෙන්න බැහැ. මගෙ පණටත් වඩා ආදරය කළ කෙල්ල. මං කොහොම ද ඒ ආදරය පළුදු කරල, ආත්මාර්ථකාමියෙකු වගේ ජීවිතයෙන් පලා යන්නෙ?

ආදර සිතකට බැහැ, ආදරයේ ගැස්ම ජනිත කර වන දෙය වනසන්න. මගේ ආදරයේ හද ගැස්ම ජනිත කර වන්නෙ විනීතා . ඒකෙනුයි මගේ සිතේ ආදරයක් ඉපදුනේ. ඉතින් ඒ ගැස්ම නැති වුවොත් මගේ ආදරයත් නැති වෙනවා. මැරුණත් ඒ ආදරය මා ළඟ තිබිය යුතුයි. එ සේ නම් විනීතා ජීවත් ව සිටිය යුතුයි. එයා අයිති මට ද, වෙන කාට වත් ද කියන එක නො වේ වැදගත්. මගේ ආදරය ජනිත කර වන ගැස්ම කොතැනක හරි පැවතීමයි වැදගත්.

මම නිසල වී ඇය දෙසට හැරුණෙමි. විනීතා සිහිනයක් මෙන් මගේ පය පාමුල වැටී මා දෙස බැලූවා.

“ප්‍රසන්න මට ප්‍රගීත් සේරම කීවා. ඒ හැම දෙයක්ම කරල තියෙන්නෙ ඔයාගෙ රූමාගෙ උපදෙස් පිට. ප්‍රගීත් අරහේ බයේ ගැහි ගැහී ඉන්නවා ඔයා ජීවිතේ නැති කර ගනීවි කියලා. මට ඇවිල්ලා බලන්න කීවා. එයා ආවෙ නැහැ ඔයා පනීවි කියාලා බයට.”

“උන් එකතු වෙලා ඔයා මුලා කරලා. මං ලියන විදිහට බොරු ආදර ලියුම් ලියල තියෙනව. ඔයා රැවටිලා ඉන්න හැටි දිහා බලලා, එයාල කුරිරු විනෝදයක් ලබල තියෙනවා. ඒ අතරෙ තමයි ඔයාගෙ රූමා මට කිට්ටුව දාන්න ආවෙ. නමුත් මං මිනිහගේ වංචා සිත අඳුන ගත්තා. ඔයා එන කොටත් මං රණ්ඩු වෙවී හිටියෙ මිනිහගෙ නොහොබිනා යෝජනාවකට එකඟ නොවී. පරටත ගීත් ඔයා හොයා ගෙන ඇවිල්ලා තියෙනවා. එයාට ඉවෙන් වගේ තේරිලා ඔයාගෙ වෙනස. නිකම් පිස්සුවෙන් වගේලූ හිටියෙ. එයා වෙච්ච හැම දෙයක් ම දැකලා. ඔයාට අර මුර්ගයා ගහන වත් දැකලා. එයා ඉක්මනට මට කතාව කෙටියෙන් කියලා ඔයා බේරා ගන්න ඉල්ලූවා.”

“අනේ ප්‍රසන්න ඔයා දන්නවා නම් මං ඔයාට කොච්චර ආදරේද කියලා?”

“එහෙනම් ඇයි ඔයා අර මිනිහා එක්කක යාළු වුණේ?”

“මං බලාන උන්න අද හරි, හෙට හරි ඔයා මට ආදරෙයි කියාවි කියා. ඔයා මා ළඟ සමීපයෙන් හිටි වෙලාවක වත් එහෙම වගක් තිබුණෙ නැහැ නෙ. ඔයා අපි නඩේටම පෙන්නුවෙ එකම සෙනෙහසක්.”

“කමක් නැහැ මං ප්‍රමාද වැඩියි. ඔයා ගිහින් මිනිහ එක්ක සමගි වෙන්න. මා නිසා ඔයා මිනිහා එක්කලා ඇර ගන්න අවශ්ය නැහැ. මගේ සිතේ තරහක් නැහැ.”

“නැහැ මං එයා එක්ක සේරම ඉවර කරලයි ආවෙ.”

“ඒ කොහොම ද?”

“කම්මුල් පාරකින්, ඒක හොඳට වැදුණා.”

මම විනීතා මගේ පපු පෙදෙසට සිර කර ගත්තෙමි.

***

“ඇයි අද කාරෙකෙන් බහින්නෙ නැද්ද?”

පිර්ඇයයානිගේ හඬින් මම පිබිදුනෙමි. නොදැනුවත් ව ම අපි නිවෙස ළඟට ඇවිත්.

“පව් නේද අහිංසකයා?” ගෙට ගොඩ වන ගමන් ඇය කීවාය.

“හ්ම් ජීවිත අකාලයේ බිලිගන්න තරම් ආදරයට සුදුසු කම් නැහැ. ඒක හරියට කලින් කලට අපගේ සිත්වල ඇති වෙන හැඟීමක් පමණයි. අනෙක් හැම එකක් වාගේම අස්ථිරයි, ඒ හැර සුවිශේෂ වැදගැම්මක් නැහැ!” මම සිතින් පිළිතුරු දුන්නෙමි. මා කිසි දිනෙක හරියාකාරව පිරු ප්‍රියානිට මේ කතාව කියා තිබුණේ නැහැ.

නිමි

ගැට පද විවරණය:
අංඩර කනවා - රැවටීමට හසුවෙනවා
ඇණ ගන්නවා - අසමත් වෙනවා
කනවා - ආදරේ කී විට පරවා තික්ෂප වෙනවා
සැල ගැහීම - ගැහැණු ළමයින් හා නිකරුණේ කථා කිරීම
රූමා - එක කාමරේ වසන මිතුරා
බැච් - එකවර පාඨමාලාව හදාරන සිසු කැළ
මැත - ගණිතය
දා ගන්නවා - යම්තම් සමත් වෙනවා
තෙල බෙදනවා - විෂයයනට අදාල නො වන දේ කතා බහේ යෙදෙනවා
ක්‍රෑම - කට පාඩම් කිරීම

-හේමාල් ජයවික්‍රම

Tuesday, November 8, 2011

ආදරණීය මව් බිම - නිහාල් රූපසිංහ


හිම සීතල අප වට කොට
සිරකරගෙන
ඝණකම් සුළඟ තව තවත්
සීතල ගෙනෙනව
ඈත නිල කඳු යායෙන්,
ඇන්ටාක්ටිකාවෙන්

කොපමන සීතල ගලාවිත්
අපමණ හිම තලාවෙන්
වැසී ගියද
පොලෝ ගැබ තුල
පැසවන ලෝදිය
සිසිල් වෙද

ඔබෙන් සමුගෙන
අතීත මතක සැමරුම්
මඟ අත්හැර දා ඉඳ
සිත තුල ඇවිලෙන ගිනි කඳ
ඔබේ සෙනෙහස ඉල්ලා
නොවක් ආදරය යදිනා
ගිනිගත් හතවත
සිසිල් වෙද

ගත සිසිල් කරනා
විසල් මාලිගා තනා
යාන වාහන
රස මසවුලු නිච්ච ගීත වාදන
විසුක දස්සන අපමණ
වටකොට
දිවිගෙවුනද

-නිහාල් රූපසිංහ

(image: http://travel.ninemsn.com.au/domesticbasic/nsw-bluemountains/655851/the-blue-mountains-nsw)

Sunday, November 6, 2011

කලාවැව අබියස දී (කෙටිකතාව) - සමන් මහානාම දිසානායක


ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය නැරඹීම යාම මගේ පුරුද්දක් විය. මේ ගමනට තවත් පවුලක් එකතු කර ගැනීමද සාමාන්ය සිරිතක් වී තිබිණි. පසු ගිය වසරෙහි ශ්‍රී ලංකාවට ගිය විට අප සංචාරයට එකතු වූයේ මගේ සොහොයුරියත් ඇගේ සැමියා හා දියණියන් දෙදෙනාත්ය.

සුපුරුදු පරිදි අපේ පැරණි නටඹුන් බලා ඒ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කළ විශ්මයක ජනක දෑ මගේ දූ දරුවන්ට විස්තර කර දුනිමි. ඒ එක් දිනයක දිවා ආහාරය ගැනීම පිණිස අපි කලා වැව වෙත පැමිණියෙමු. කලාවැවෙන් දිය නෑ පසු මගේ බිරියත් සොහොයුරියත් අප බැඳ ගෙන ආ බත් මුල් එකිනෙකාට දෙන්නට වූහ. ආහාර ගත් පසු දරුවන් වැව අසළම සෙල්ලම් කරන්නට වූ අතර වැඩිහිටි අපි පසු දින සංචාරය සඳහා යාමට සුදුසු තැන් සාකච්ඡා කරන්නට වූයෙමු. දෙපැයක් පමණ එසේ ගත කළ අපි විඩාව ද සංසිඳුවාගෙන නැවත සංචාරය පටන් ගත්තෙමු.

එදින ඇඳිරි වැටීගෙන එන විට අපි රාත්‍රිය ගත කිරීම සඳහා සංචාරක හෝටලයක් වෙත පැමිණියෙමු. ඒ වන විට අප හැම දෙනාම හොඳටම වෙහෙස වී සිටි බැවින් තම තමන්ගේ කාමර වලටම වී විවේක ගැනීමට කවුරුත් එකඟ වූහ.

‘තාත්තා මගේ මාලේ නෑ. කොහේදෝ වැටිලා’ යැයි කියමින් මගේ දියණිය සමන්ති හැඬුම්බර මුහුණින් මා වෙත පැමිණියාය.

ඇගේ කර බැඳි ඒ රත්තරන් මාලය මෙයට දෙවසරකට පෙර මිය ගිය මගේ මෑණියන් විසින් ඇයට දෙන ලද ත්‍යාගයකි. මගේ මෑණියන් විසින් ඇයට තිළිණ කළ දෙයක් වූවා නම් ඒ එම මාලය පමණි. ඒ නිසා කෙසේ හෝ එය සොයා ගත යුතු යැයි මම සිතුවෙමි. එදින කළ කී දෑ අනුව නොඅනුමානවම කලා වැව අසළ ක්‍රීඩා කරමින් සිටින විට එය වැටෙන්නට ඇතැයි මම අනුමාන කළෙමි. කවුරුත් පාහේ විඩාවට පත්ව සිටියෙන් මම තනිවම කලාවැව වෙත ගොස් ඒ ගැන සොයා බැලීමට තීරණය කළෙමි.

විදුලි පන්දමද ගෙන රථයට නැග පිටත් වූ මා කලා වැව අසළට එන විට සැඳෑ අඳුර දසත පැතිර යමින් තිබුණි. දරුවන් ක්රී ඩා කළ තැන් වල සුපරීක්ෂාකාරීව බලමින් ගමන් කරන විට මගේ පසු පසින් ආ කට හඬක් ඇසුණි.

‘දරුවා මොනවද ඔබ මේ ගොම්මන් වෙලාවේ මෙතැනට ඇවිත් සොයන්නේ?’

මම ඒ කට හඬ ආ දෙසට නෙත් යොමු කළෙමි. සුදෝ සුදු සලූ පිළි වලින් සැරසී සිටි ඔහු වයසක පුද්ගලයෙකි. ඔහුගේ පෙනුමෙහි ගම්භීර බවක්ද මම දුටුවෙමි. මම ඔහුට නැතිවුන යමක් සොයන බව පැවසුවෙමි.

‘මේකද හොයන්නේ?’

‘ආ... නේ... ඔව් ඕක තමයි. ඔබට බොහොම ස්තූතියි.’

එය දුටු මට ඇති වූ ප්‍රීතිය කියා නම් කළ නොහැකි වූයේ ඒ ගැන මගේ වූ බලාපොරොත්තුව හීන වී ගොස් සිටි නිසාය.

ඔහු මාලය දුන් විට ‘මේක තියාගන්න’ යැයි කියූ මම රුපියල් දහසක නෝට්ටුවක් ඔහු වෙත දිගු කළෙමි. ඔහු ඉතා කරුණාවෙන් එය ප්‍රතික්‍ෂේප කළේය.

‘නෑ නෑ කමක් නෑ ඕක තියාගන්න. මේ මාලේ හරිම වටින එකක්.’

‘වටින එකක්? ඔයිට වඩා වටින දේවල් මට කොච්චර නැති වුණාද? ඒත් මං ඒවා ගැන දුක් වෙන්නේ නෑ. ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා.’

මම ඔහු දෙස හොඳින් බැලූවෙමි. සුදු පාට සාටකයක් හා ලිහිල් උඩුකය හැට්ටයක් වැනි ඇඳුමකින් සැරසී සිටි ඔහු පොහොසත් මුදලාලි කෙනෙකුව සිටින්නට ඇතැයි මම සිතුවෙමි. ඒ සියල්ලම ඔහුට අහිමි වන්නට ඇත. එසේ නැත්නම් ඔහුගෙන් පැහැර ගන්නට ඇත. දැන් ඔහුට ඒ කිසි දෙයක් ගැන ආශාවක් නැතුව ඇත.

‘එහෙනම් ඔබ හොඳ සල්ලිකාරයෙක් වෙලා ඉන්න ඇති.’ මම කීවෙමි. ඔහු මට පිළිතුරු නොදී කලා වැව දෙසම නෙත් හෙලා සිටියේය. ඔහු එතැන තනිකර දමා යාමට මට සිත් නොදුන්නේය.

‘රෑ වුණා නේද? මං ඔහේව ගෙදර ලඟින් බස්සවන්නම්. යමු’ කියා මා කීවේ ඔහු දුන් මුදලවත් නොගත් නිසා වෙන යම් උදව්වක් ඔහුට කළ යුතු යැයි සිතුණ බැවිණි.

‘මම කොහේ යන්නද? මගේ මේ වස්තුව දාලා මම කොහේ යන්නද?’ ඔහු වැව දෙසම බලාගෙන වැව් කණ්ඩිය මත ඉඳ ගත්තේය.

‘මේ හරියේ රෑට වැඩිය ඉන්න හොඳ නෑ. හොරුත් ඉන්නවලූ. එන්න මං මාමා ව ගෙදර ලඟින්ම බස්සවලා යන්නම්.’ ඔහු මා කී දේ නෑසුනාක් මෙන් සිටියා පමණක් නොව මටද ඔහු අසළින් ඉඳ ගන්නා ලෙසට අතින් සංඥාවක් ද කළේය.

‘මේ දරුවා බොහෝම දුර බැහැරක ඉඳන් වගෙයි ඇවිත් තියෙන්නේ?’

‘ඔව් හුඟක් ඈත ඉඳන්. ඒත් මම මේ පැත්තට අවුරුදු දෙකකට වරක්වත් එනවා. ඇවිත් සීගිරි දඹුලූ ....’

‘මේ දරුවා සීගිරියටත් ගියාද?’ මගේ කතාවට බාධා කරමින් ඔහු විමසුවේය. ඔහුගේ මුහුණෙහි අමුතු ප්‍රභාවක් ඒ අඩ අඳුරේ වුවද මට දැක ගත හැකි විය.

‘අපොයි ඔව්. සීගිරියට නොගිහින් බැහැනේ. සීගිරිය වගේ අපේ රටට, ජාතියට ආඩම්බර වෙන්න පුළුවන් වස්තුවක් තවත් නෑනේ.’

ඔහුගේ මුහුණේ වූයේ ඉතා ආඩම්බරය මුසු වූ බැල්මකි.

‘ඔව් මටත් හරි ආඩම්බරයි. සීගිරිය අපි කාටත් ආඩම්බරයක් පුතා. මට උඹ ගැන හරිම ආඩම්බරයි පුතා. උඹ මාව මැරුවා තමයි. ඒත් මං ඒක ගණන් ගන්නේ නෑ. උඹ අපේ රටට ම කීර්තියක් ලබා දුන්නා. මට උඹ ගැන හරිම ආඩම්බරයි.’

ඔහුගේ කතාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම ඔහුගේ සිහිය විකල් වී ඇත්දැයි සැක පහළ කළෙමි.

‘ඔබව මැරුවා? ඔබ මේ මොනවද කියන්නේ? මැරුවා නම් මේ ඔබ මෙතන ඉන්නේ?’

ඔහුගේ මුහුණෙහි ඉතා ව්යාඉකූල බවක් පලවිය. ඔහු ඉඳගෙන සිටි තැනින් නැගිට්ටේය.

‘පහුගිය අවුරුදු දෙදාහක විතර කාලයක් තිස්සෙ හැම අවුරුද්දකටම දවසක් මං මෙතනට එනවා. මං මේ හදපු කලා වැව දිහා බලලා, මිනිස්සු ඒකෙන් ප්රියෝජන ගන්න හැටි බලලා මං සන්තෝස වෙනවා. මගේ පුතා රටට සීගිරිය දායාද කළා වගේ මං රටට දායාද කළේ මේ කලා වැව තමයි.’

’ඇත්තටම ඔබ කවුද?’ කියා මා ඇසුවත් ‘මේ පිස්සු මනුස්සයා මොනවද මේ දොඩවන්නේ?’ යන සිතිවිල්ලයි මට ආවේ.

‘මං ධාතුසේන. මේ කලාවැව කරවපු ධාතුසේන’ ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේය. ඒ පිළිතුර මට අදහා ගත නොහැකි විය.

’ඒ කියන්නේ අපේ සීගිරි කාශ්‍යප රජතුමාගේ පියාණන්?’

‘ඔව් මං තමයි ඒ ධාතුසේන. ඔබ වැනි අය මාව සීගිරි කාශ්‍යප ගේ පියාණන් විදියට මතක තියා ගන්නවා නම් ඒකත් මට සතුටක්. දරුවන්ගේ හපන්කම් අහන කොට දකින කොට දෙමව්පියන්ට ඇති වෙන සතුට මෙතෙකැයි කියන්න පුළුවන්ද? කාශ්යප පුතා. මට ඔබ ගැන හරිම ආඩම්බරයි.’ ඔහු උස් හඬින් කීවේය.

‘මං අහලා තියෙන විදියට කාශ්‍යප රජතුමා සිය පියාණන් ඝාතනය කරලා තියෙනවා.’ පුදුමයට පත් වූ මම කීවෙමි.

‘ඔව් අර මිගාරයාගේ බොරු කතා වලට රැවටිලා එයා ඒක කළා තමයි. ඒ වුණත් රටට දැයට වැඩක් කරපු මගේ පුතා එක්ක මගේ කිසි අමනාපයක් නෑ. මගේ පුතා කරපු දේවල් බලලා මිනිස්සු කියන කතා ඇහෙන කොට මං තරම් සතුටු වෙන කෙනෙක් තවත් මේ ලෝකේ නැතුව ඇති. කියන්න. ඔබේ පුතාත් කවදා හරි රටට කීර්තියක් ගෞරවයක් ලබා දෙන කාරියක් කළොත් ඔබට සතුටු නැද්ද?’

‘ඇයි නැත්තේ? ඒක මට කොයි තරං ආඩම්බරයක්ද?’

‘ඒ දරුවා කාගේ හරි කේලම් බහක් අහලා ඔබට අතවරයක් කළොත් එහෙම ඔබ ඒ දරුවට වෛර කරනවද?’

‘බෑ, මට ඒක කවදාවත් කරන්න බෑ.‘

‘මටත් එහෙමයි පුතා.’

‘එතකොට ඔබේ බාල පුතා මුගලන් ගැන ඔබට ආඩම්බර නැද්ද? ඔහු හමුදාවක් අරං ඇවිත් කාශ්‍යප එක්ක යුද්ධ කරලා ඔහුව පරාජය කරලා ඔබ මැරුව පලිය ගත්තා.’

‘මතක් කරන්න එපා. කලාවට අර තරම් සේවයක් කළ මගේ කාශ්‍යප පුතාව එයා විනාශ කළා. එහෙම නොවුනා නම් අද මේ මුළු ලංකාව ම එකම කලාගාරයක් බවට පත්වෙන්නට ඉඩ තිබුණා.’

‘ඒත් මුගලන් ඔබට තිබුණ ආදරය නිසා නොවේද එය කළේ?’

‘නෑ පුතා. ඒ දෙන්නම ආසා කළේ රජ කමටයි. කාශ්‍යප පියා මරා රජ වුණා. මුගලන් සොහොයුරා මරා රජ වුණා. ඒත් කාශ්යප ඒක කළේ මිගාරයාගේ මුසා බස් වලට රැවටුන නිසයි. ඒකත් මං කරපු පාපයක් නිසා වුණ දෙයක්.’

‘ඔබ කළ පාපයක් නිසා වුණ දෙයක්?’

‘ඔව්. ඔබ දන්නවනේ. මිගාර කියන්නේ මගේ හිටපු හමුදාපති. එයාගෙ හපන්කම් නිසා මං කොයි තරම් සතුටු වුණාද කිව්වොත් මගේ එකම දියණිය මං ඔහුට සරණ කර දුන්නා.’

‘ඉතිං ඇයි එහෙම නම් මිගාර ඔබට විරුද්ධව කටයුතු කළේ?’

‘මගේ දියණිය ගැන බොරු කේලාම් නිති පතා කියා මිගාර ගේ මාතාව මිගාර ලවා මගේ දියණියට කරදර හිරිහැර කරන්නට පටන් ගෙන තියෙනවා. දවසක් මගේ දියණිය හඬාගෙන මාලිගයට ඇවිත් මිගාර ඇයට පහර දුන් බව කිව්වා. ඇගේ මුහුණ ඉදිමී දෙකම්මුලෙහි ඇඟිලි සලකුණු ද මා දුටුවා. පියෙක් වශයෙන් කෝපයක් ඇති වීම සාධාරණ නැද්ද? මා ඒ මොහොතෙහිම රාජපුරුෂයන් යවා ඔහුට දඬුවම් කිරීමට සිතුවා. එහෙත් රාජපුරුෂයන් එහි යන විට ඔහු පලා ගිහින්. මගේ සිතේ වූ කෝපය තවත් වැඩි වුණා. ඒ නිසයි මා ඔහුගේ මෑණියන් මාලිගයට කැඳ වූයේ. ඇය මගේ දියණියට නිග්රහ කරන්නට වුණා. කෝපයෙන් වියරු වූ මා ඇ ගිණි මැලයකට දමන්නට අණ කළා. මා කළේ ලොකු වරදක් බව මා පිළිගන්නවා.’

‘ඉතිං ඒ ගැන කාශ්‍යප කෝපයට පත්වීමට කිසි හේතුවක් නැහැනේ?’

‘කාශ්‍යප ගේ හොඳම මිතුරා කලාව. ඊළඟට හිටි හොඳම මිත්රායා තමයි මිගාර. මිගාර කාශ්‍යප හමු වී මා හොර රහසින් මගෙන් පසු රජකම මුගලන් හට දීමට කටයුතු කරනවා යැයි කියා මා ඔහු කෙරෙන් බිඳ වූවා.’

සඳ රැසින් බබලන ආකාශය දෙසත් සඳ කැන් වැදී විචිත්ර්වත් සිතුවමක් ලෙස පෙනෙන කලා වැව හා ඒ අවටත් නෙත් හෙලූ ධාතුසේන රජතුමා යළිත් කතාව පටන් ගත්හ.

‘මා සිර කර රජ බවට පත් වූ කාශ්‍යප පසුව මිගාර ගේ වදන් පිළිගෙන මා මුගලන් හට දීමට සඟවා ඇති වස්තුවක් ඉල්ලමින් නිතර කරදර කරන්නට වුණා. මා සැඟවූ වස්තුවක් නැතැයි කියා කොතෙක් කීවත් ඔහු පිළිගත්තේ නෑ. අවසානයේදී මගේ වස්තුව ඔහුට දීමට නම් එක් වරක් මට කලාවැවෙන් නෑමට ඉඩ දෙන්නැයි මං අවසර ඉල්ලූවා. ඒ අනුව කලාවැවෙන් හිතේ හැටියට නා ගත් මම ඉන් වතුර දෝතක් ගෙන මේ තමයි මට දෙන්නට තිබෙන ලොකුම වස්තුව කියා කීවා. ඉන් කෝපයට පත් වූ කාශ්‍යප මා මරා දැමීමට අණ කලා. කාශ්‍යප පුතා. ඔබ රැවටිලි කාරයකුගේ බසට මුළා වුණා. ඔබ හා මගේ කිසිම අමනාපයක් නෑ පුතා.’

පුදුමයෙනුත් පුදුමයට පත් වෙමින් මා ඔහු කී වදන් අසා සිටියෙමි.

‘අයියා.... අයියා....’

‘මාව හොයන්න මස්සිනා ඇවිල්ලා. මං යන්නම්.’ මම ධාතුසේන රජතුමා දෙසට හැරී කීවෙමි. ඔහු මට අවසර දෙන්නට මෙන් හිස සැලීය.

‘අයියා මොනවද මේ කරුවලේ බිම ඉඳගෙන කරන්නේ? මාලේ හම්බ වුණාද?’

‘ඔව් මල්ලි. මේ ඉන්න ධාතුසේන රජ්ජුරුවෝ.....’ මම ධාතුසේන රජතුමා සිටි තැනට නෙත් යොමු කළෙමි. එතැන දැන් කිසිවකු නැත.

‘අයියට මෙතන නින්ද ගියා වගෙයි. නියම හීනයක්නෙ අයියා දැකලා තියෙන්නේ?’

‘හීනයක්. ඒක හීනයක්ද?’ මම මගේ සාක්කුවට අත දැමුවෙමි. දියණියගේ රත්තරන් මාලය එහි ඇත.

‘අපි යමු මල්ලි’ කී මම ඔහු සමඟ එතැනින් පිටත් වුණෙමි.

-සමන් මහානාම දිසානායක

(image: http://touristguide.ncp.gov.lk/bin/things-to-see/details/index.php?id=56)

Friday, November 4, 2011

දුරු රට සිට - පාලිත ගනේවත්ත

උස් ගොඩනැගිල්ලක් තුල නගරයෙහි මැද
සිසිලැති වායු සමනය සුව ගතෙහි විඳ
පරිගණකයට යොමු කර මුළු කයෙහි ඔද
මම හිඳ සිටිමි ගෙල වට ටයි පටිය බැඳ

සුදු කඩදාසි මත මා නෙත නිබඳ ගැටේ
අතැඟිලි යතුරු ලියනය මත සෙමෙන් නැටේ
සුදු මිනිසුන් ය පිය බස් තෙපලමින් වටේ
ඔවුනගෙ සිනා මැද දෙසවන් අඟුළු වැටේ

කවුළුව එපිට අහසේ දුම් රොටු පාවේ
වාහන හඬින් නගරය නිති මුස පත් වේ
නිල් අහසේ වලා පෙල නෙත නොම ගෑ වේ
සැනෙකින් මනස මගෙ මව්බිම වෙත පාවේ

කඳු ගැටයක් මුදුනෙ මා ඉපැදුණු නිවස
අක්කගෙ දියණියන් ගේ හඬ පිරි නිවස
ගෙ උයන මගේ මව හැසිරෙන යුරු සවස
මනැසෙහි ඇඳී කඳුළැලි මතුවේ යුගැස

සිටියත් ගතින් දුරු රට මව් බිම අතැර
මනැසින් වෙසෙමි සිය රට, කියනුම කවර
පල ලත් නොදී ලක් මව වෙත සිප් සතර
ගතවෙත් දිවිය හද දොම්නස දී නිතර

-පාලිත ගනේවත්ත

Thursday, November 3, 2011

සංස්කෘතික අනන්‍යතාවය හා අපේ බාල පරපුර - දීපිකා ශ්‍රියාණි සුන්ද්‍රා වඩුගේ

ඕනෑම මිනිස් සමාජයක, ඔවුනටම අනන්‍ය වූ සුවිශේෂී ජීවන ක‍්‍රමයක් පවත්නේය. හුදු මිනිස් ඇවතුම්, පැවතුම් වලින් පමණක් නොව, ඔවුන් ගරු කරන හර පද්ධති රාශියකින්ද, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, ආචාර, සමාචාර මෙන්ම ආගමික ඇදහිලි හා කලා ශිල්ප යන මේ සියල්ලෙන්ම විචිත‍්‍රවත් වූ එම සුවිශේෂී ජීවන ක‍්‍රමය, එම ජන කොට්ඨාශයේ සංස්කෘතිය ලෙස සලකනු ලබයි.

සියළුම ජන කොට්ඨාශ ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂී වූ සංස්කෘතියක හිමිකරුවෝ වෙති. මුළු ලොවම විශ්ව ගම්මානයකට, විශ්ව සංස්කෘතියකට අවතීර්ණ කරමින්, සන්නිවේදනය, ගමනාගමනය මෙන්ම, මාධ්‍ය යන ක්‍ෂේත්‍රවල වත්මනෙහි සිදුවී ඇති මේ මහා පෙරළිය හමුවේ, වුවද, ලොව වෙසෙන ශිෂ්ඨ සම්පන්න යැයි සැලකෙන සියළුම ජන කොට්ඨාශ ස්ව සංස්කෘතික අනන්‍යතාවය පවත්වා ගනිමින් ජීවත් වන බව පෙනේ. ඔවුහු කාලයෙන් කාලයට හා පරිසරයට උචිත අයුරින්, තම ජීවන ක‍්‍රමය යාවත්කාලීන කර ගත්තද, ස්වකීය අනන්‍යතාවය පවත්වා ගනිමින් තමනට සුවිශේෂී වූ රටාවක් තුළ ජීවන ක‍්‍රමය හැඩ ගසා ගෙන ජීවත් වෙති.

සිංහල සම්භවයක් ඇති අපගේ ජීවන ක‍්‍රමය සැකසී ඇත්තේ, අවුරුදු 2500කටත් වඩා දුර අතීතයක සිට පැවතෙන වැදගත් හර පද්ධතියකින් පෝෂණය වූ ප්‍රෞඩ සංස්කෘතියක් ඇසුරු කරගෙනය. විවිධ ජනපදනමක් හා සංස්කෘතියක් ඇති ඕස්ටේ‍්‍රලියානු සමාජයට විගාමික ජන කොටසක් ලෙස අප අනුගත වී ඇතත්, හැදුණු වැඩූණු ඒ සමාජයේ සංස්කෘතිය අපගේ ජීවිත සමඟ ගැඹුරින් බද්ධ වී ඇත.

ආදි වාසීන් හැර අනෙකුත් සියළුම ඕස්ටේ‍්‍රලියානුවෝ විවිධ වාර්ගික මෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන් ගෙන් සැදුම් ලත් සංක‍්‍රමණික ජන කොට්ඨාශයන් ප‍්‍රභවය කර ගෙන පැවත එන්නෝ වෙති. මෙකී ජන්මීය විවිධත්වය පසෙක තැබූ මොවුන් එක් දේශයක් තුළ, එක් ජාතියක් ලෙස එකට විසුව ද, තම වාර්ගික මෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරුකරමින් ජීවත් වීමට පුරුදු පුහුණු වී ඇත.

උපන් මව්බිමෙන් ඈත්ව ජීවත් වුවද, අප සම්භවයෙන් ශී‍්‍ර ලාංකිකයන් වන්නෙමු. දරුවන්ට උගත්කම, ධනය හා යස, ඉසුරු, සම්පත් ලබා දීම පමණකින්, අපට සෑහීමකට පත් විය නොහැක. අපගේ මුතුන් මිත්තන් දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කරමින් රැකගෙන පැමිණි, සිංහල සංස්කෘතික අනන්‍යතාවයකට හා ඒ හා බැඳුණු පෞඪ ඉතිහාසයකටද, උරුම කම් ඇති අප, එම සාඩම්බර උරුමය අපේ ගේ දූ දරුවන්ට ද , යම් තරමකින් හෝ හඳුන්වා දීමේ, පරම වූ යුතුකමක් අප වෙත පැවරී ඇත. ලෝකයේ කිනම් දිග්භාගයක විසුවද, අන්‍ය සංස්කෘතීන් සමඟ සහජීවනයෙන් වෙසෙමින්, අභිමානවත්ව, තම ජාතියේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමටත්, එය රැක ගැනීමටත්, අවශ්‍ය ආකල්ප හා පෞරෂය දූ දරුවන් තුළ ඇති කරලීමට අපට හැකි නම් එය ඉතාම වැදගත්ය.

තම සංස්කෘතික උරුමයෙහි අභිමානය හැඳිනගත් දරුවන් ලොව කිනම් දෙසක විසුවද ඔවුන් අපේ දෙස, බස, රැස රකින සැබෑ වීරයන් වනු නියතය.

-දීපිකා ශ‍්‍රියාණි සුන්ද්‍රා වඩුගේ

Tuesday, November 1, 2011

ශිවනාදන් මල්ලියේ - ඥාණතිලක හේවාගමගේ

ශිවනාදන් මල්ලියේ

බඩ ගිනි වෙලා හැඬුවා මව් නැති වේලේ
නුඹෙ අම්මාට කිරි එරුණා මං බාලේ
වැලි බත් ඉව්වෙ පළඳා පොල් කටු මාලේ
ඇයි විරසක බවක් අපෙ හදවත් පතුලේ

නෙළුම් මල තබා බුදු සාදුගෙ පතුලේ
කපුරු පිච්චුවා අපි කෝවිල ඇතුලේ
නටා කාවාඩි දේවාලය මිදුලේ
පැදකුණු කළා කිරිවෙහෙරය කොත බැබළේ

මහපටැඟිලි පොට්ටු තියලා නළල් තලේ
පොල් ගැසුවා නොවෙ ද කෝවිල් දොරටු ගලේ
නුඹෙත් මගෙත් හදවත් වල එක රතු ලේ
ඇයි මල්ලියේ පොල් ඉරටට රන්ඩු කළේ

නුඹ ගිය අයුරු සිහිකරලා නුහුරු කැලේ
මැනික් ගඟ අදත් අඬනව දුකෙන් මලේ
සංසාරයේ හැටි මෙහෙම ද සිතෙන වෙලේ
මට බුදුවරුත් අමතක වී කඳුඵ සැලේ

පුන් සඳ පායලා දිලූනම ගුවන් තලේ
විනිවිද පෙනෙන හැටි දකිනට ගග පතුලේ
ලෙච්චමි නඟත් කැන්දාගෙන සැදෑ වෙලේ
ආයෙත් වරෙන් ගං ඉවුරට මගේ මලේ

-ඥාණතිලක හේවාගමගේ