Showing posts with label ඕස්ට්‍රේලියානු පරිසරය. Show all posts
Showing posts with label ඕස්ට්‍රේලියානු පරිසරය. Show all posts

Saturday, November 26, 2011

ඕස්ට්‍රේලියාවේ ගිම්හාන මල් සමය - උඩගේ වික්‍රමසේන


විස්සට තිහට රෑ දාවල් රස්ණය ඇති දවස් වල
වායු සමන පංකා ලඟ ඉන්නෙ ඇයි ද ගෙවල් තුළ
වටපිට ලස්සනයි හරිම ගස් වැල් මල් පිරී පල
චමත්කාර වේ රට තොට තතු විමසා බලන කල

සුවඳ දිදී හතර අතේ ගුමු ගුමු නද යනව පැතිර
සිරියාවයි මල් පිපිලා ගස් වැල් වල අපේ ගෙදර
මී මැස්සන් හා බඹරුන් රොන් ගන්නව නෑ හිරිහැර
දසුනකි මේ සදාතනික ඉන්නේ කෙලෙසද මග හැර

ජෝඩු ජෝඩු මයිනන් හා රොත්ත පිටින් පරෙවියෝ
අහර සොයා බඩ පුරවති කොකැටු බටිති මලිතියෝ
ගස්ස ගස්ස හිස වට පිට බලා කුරුළු කිරිලියෝ
තටු සලලා නෙළුම් විලෙන් දිය නා ඉගිලී ගියෝ

නිවසෙ වටේ ලොකු ගස් යට සෙවන තිබෙන තැන් සොයලා
තෝර තෝර පාට පාට ගැලපෙන ලෙස සකසාලා
රෝස සමන් "ග‍්‍රැඩියෝලා" "ඩ්‍රැෆොඩිල්" පැල සිටුවාලා
ඬේසි සමග මුසුවූ විට හමයි සුවඳ විහිදීලා

දැඩි රස්ණය උසුලනු බැරි සුරුබුහුටිවු මේ මල් පැල
කරටි ලඟින් බිමට නැමේ හිරු තාපය වැඩිවෙන කල
මිටක් දෙකක් දැමූ කලට පොහොර සමග දිය මුසු කල
විස්මිත නොමවන්නෙද මතුවී එන කොට අළුතින් පැල

පෝච්චියෙන් පෝච්චියට එබිකම් කර බලන කලට
බින්දු බින්දු පුල්ලි පුල්ලි තරු හා ලප මෝස්තරෙට
වෛවර්ණය පෙති සියල්ල ගැලවී ඇත එකින් එකට
පණ ආවොත් සමනල්ලූන් මෙන් සැක නැත ඉගිලෙනවට

-උඩගේ වික‍්‍රමසේන

(image: http://home.howstuffworks.com/schizanthus-butterfly-flower-poor-mans-orchid.htm)