Sunday, November 6, 2011
කලාවැව අබියස දී (කෙටිකතාව) - සමන් මහානාම දිසානායක
ශ්‍රී ලංකාවට නිවාඩුවකට යන සෑම විටෙකම දූ දරුවන් සමඟ ශ්‍රී ලංකාවේ පැරණි ශ්‍රී විභූතිය නැරඹීම යාම මගේ පුරුද්දක් විය. මේ ගමනට තවත් පවුලක් එකතු කර ගැනීමද සාමාන්ය සිරිතක් වී තිබිණි. පසු ගිය වසරෙහි ශ්‍රී ලංකාවට ගිය විට අප සංචාරයට එකතු වූයේ මගේ සොහොයුරියත් ඇගේ සැමියා හා දියණියන් දෙදෙනාත්ය.
සුපුරුදු පරිදි අපේ පැරණි නටඹුන් බලා ඒ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් කළ විශ්මයක ජනක දෑ මගේ දූ දරුවන්ට විස්තර කර දුනිමි. ඒ එක් දිනයක දිවා ආහාරය ගැනීම පිණිස අපි කලා වැව වෙත පැමිණියෙමු. කලාවැවෙන් දිය නෑ පසු මගේ බිරියත් සොහොයුරියත් අප බැඳ ගෙන ආ බත් මුල් එකිනෙකාට දෙන්නට වූහ. ආහාර ගත් පසු දරුවන් වැව අසළම සෙල්ලම් කරන්නට වූ අතර වැඩිහිටි අපි පසු දින සංචාරය සඳහා යාමට සුදුසු තැන් සාකච්ඡා කරන්නට වූයෙමු. දෙපැයක් පමණ එසේ ගත කළ අපි විඩාව ද සංසිඳුවාගෙන නැවත සංචාරය පටන් ගත්තෙමු.
එදින ඇඳිරි වැටීගෙන එන විට අපි රාත්‍රිය ගත කිරීම සඳහා සංචාරක හෝටලයක් වෙත පැමිණියෙමු. ඒ වන විට අප හැම දෙනාම හොඳටම වෙහෙස වී සිටි බැවින් තම තමන්ගේ කාමර වලටම වී විවේක ගැනීමට කවුරුත් එකඟ වූහ.
‘තාත්තා මගේ මාලේ නෑ. කොහේදෝ වැටිලා’ යැයි කියමින් මගේ දියණිය සමන්ති හැඬුම්බර මුහුණින් මා වෙත පැමිණියාය.
ඇගේ කර බැඳි ඒ රත්තරන් මාලය මෙයට දෙවසරකට පෙර මිය ගිය මගේ මෑණියන් විසින් ඇයට දෙන ලද ත්‍යාගයකි. මගේ මෑණියන් විසින් ඇයට තිළිණ කළ දෙයක් වූවා නම් ඒ එම මාලය පමණි. ඒ නිසා කෙසේ හෝ එය සොයා ගත යුතු යැයි මම සිතුවෙමි. එදින කළ කී දෑ අනුව නොඅනුමානවම කලා වැව අසළ ක්‍රීඩා කරමින් සිටින විට එය වැටෙන්නට ඇතැයි මම අනුමාන කළෙමි. කවුරුත් පාහේ විඩාවට පත්ව සිටියෙන් මම තනිවම කලාවැව වෙත ගොස් ඒ ගැන සොයා බැලීමට තීරණය කළෙමි.
විදුලි පන්දමද ගෙන රථයට නැග පිටත් වූ මා කලා වැව අසළට එන විට සැඳෑ අඳුර දසත පැතිර යමින් තිබුණි. දරුවන් ක්රී ඩා කළ තැන් වල සුපරීක්ෂාකාරීව බලමින් ගමන් කරන විට මගේ පසු පසින් ආ කට හඬක් ඇසුණි.
‘දරුවා මොනවද ඔබ මේ ගොම්මන් වෙලාවේ මෙතැනට ඇවිත් සොයන්නේ?’
මම ඒ කට හඬ ආ දෙසට නෙත් යොමු කළෙමි. සුදෝ සුදු සලූ පිළි වලින් සැරසී සිටි ඔහු වයසක පුද්ගලයෙකි. ඔහුගේ පෙනුමෙහි ගම්භීර බවක්ද මම දුටුවෙමි. මම ඔහුට නැතිවුන යමක් සොයන බව පැවසුවෙමි.
‘මේකද හොයන්නේ?’
‘ආ... නේ... ඔව් ඕක තමයි. ඔබට බොහොම ස්තූතියි.’
එය දුටු මට ඇති වූ ප්‍රීතිය කියා නම් කළ නොහැකි වූයේ ඒ ගැන මගේ වූ බලාපොරොත්තුව හීන වී ගොස් සිටි නිසාය.
ඔහු මාලය දුන් විට ‘මේක තියාගන්න’ යැයි කියූ මම රුපියල් දහසක නෝට්ටුවක් ඔහු වෙත දිගු කළෙමි. ඔහු ඉතා කරුණාවෙන් එය ප්‍රතික්‍ෂේප කළේය.
‘නෑ නෑ කමක් නෑ ඕක තියාගන්න. මේ මාලේ හරිම වටින එකක්.’
‘වටින එකක්? ඔයිට වඩා වටින දේවල් මට කොච්චර නැති වුණාද? ඒත් මං ඒවා ගැන දුක් වෙන්නේ නෑ. ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා.’
මම ඔහු දෙස හොඳින් බැලූවෙමි. සුදු පාට සාටකයක් හා ලිහිල් උඩුකය හැට්ටයක් වැනි ඇඳුමකින් සැරසී සිටි ඔහු පොහොසත් මුදලාලි කෙනෙකුව සිටින්නට ඇතැයි මම සිතුවෙමි. ඒ සියල්ලම ඔහුට අහිමි වන්නට ඇත. එසේ නැත්නම් ඔහුගෙන් පැහැර ගන්නට ඇත. දැන් ඔහුට ඒ කිසි දෙයක් ගැන ආශාවක් නැතුව ඇත.
‘එහෙනම් ඔබ හොඳ සල්ලිකාරයෙක් වෙලා ඉන්න ඇති.’ මම කීවෙමි. ඔහු මට පිළිතුරු නොදී කලා වැව දෙසම නෙත් හෙලා සිටියේය. ඔහු එතැන තනිකර දමා යාමට මට සිත් නොදුන්නේය.
‘රෑ වුණා නේද? මං ඔහේව ගෙදර ලඟින් බස්සවන්නම්. යමු’ කියා මා කීවේ ඔහු දුන් මුදලවත් නොගත් නිසා වෙන යම් උදව්වක් ඔහුට කළ යුතු යැයි සිතුණ බැවිණි.
‘මම කොහේ යන්නද? මගේ මේ වස්තුව දාලා මම කොහේ යන්නද?’ ඔහු වැව දෙසම බලාගෙන වැව් කණ්ඩිය මත ඉඳ ගත්තේය.
‘මේ හරියේ රෑට වැඩිය ඉන්න හොඳ නෑ. හොරුත් ඉන්නවලූ. එන්න මං මාමා ව ගෙදර ලඟින්ම බස්සවලා යන්නම්.’ ඔහු මා කී දේ නෑසුනාක් මෙන් සිටියා පමණක් නොව මටද ඔහු අසළින් ඉඳ ගන්නා ලෙසට අතින් සංඥාවක් ද කළේය.
‘මේ දරුවා බොහෝම දුර බැහැරක ඉඳන් වගෙයි ඇවිත් තියෙන්නේ?’
‘ඔව් හුඟක් ඈත ඉඳන්. ඒත් මම මේ පැත්තට අවුරුදු දෙකකට වරක්වත් එනවා. ඇවිත් සීගිරි දඹුලූ ....’
‘මේ දරුවා සීගිරියටත් ගියාද?’ මගේ කතාවට බාධා කරමින් ඔහු විමසුවේය. ඔහුගේ මුහුණෙහි අමුතු ප්‍රභාවක් ඒ අඩ අඳුරේ වුවද මට දැක ගත හැකි විය.
‘අපොයි ඔව්. සීගිරියට නොගිහින් බැහැනේ. සීගිරිය වගේ අපේ රටට, ජාතියට ආඩම්බර වෙන්න පුළුවන් වස්තුවක් තවත් නෑනේ.’
ඔහුගේ මුහුණේ වූයේ ඉතා ආඩම්බරය මුසු වූ බැල්මකි.
‘ඔව් මටත් හරි ආඩම්බරයි. සීගිරිය අපි කාටත් ආඩම්බරයක් පුතා. මට උඹ ගැන හරිම ආඩම්බරයි පුතා. උඹ මාව මැරුවා තමයි. ඒත් මං ඒක ගණන් ගන්නේ නෑ. උඹ අපේ රටට ම කීර්තියක් ලබා දුන්නා. මට උඹ ගැන හරිම ආඩම්බරයි.’
ඔහුගේ කතාවේ අගක් මුලක් තේරුම් ගත නොහැකි වූ මම ඔහුගේ සිහිය විකල් වී ඇත්දැයි සැක පහළ කළෙමි.
‘ඔබව මැරුවා? ඔබ මේ මොනවද කියන්නේ? මැරුවා නම් මේ ඔබ මෙතන ඉන්නේ?’
ඔහුගේ මුහුණෙහි ඉතා ව්යාඉකූල බවක් පලවිය. ඔහු ඉඳගෙන සිටි තැනින් නැගිට්ටේය.
‘පහුගිය අවුරුදු දෙදාහක විතර කාලයක් තිස්සෙ හැම අවුරුද්දකටම දවසක් මං මෙතනට එනවා. මං මේ හදපු කලා වැව දිහා බලලා, මිනිස්සු ඒකෙන් ප්රියෝජන ගන්න හැටි බලලා මං සන්තෝස වෙනවා. මගේ පුතා රටට සීගිරිය දායාද කළා වගේ මං රටට දායාද කළේ මේ කලා වැව තමයි.’
’ඇත්තටම ඔබ කවුද?’ කියා මා ඇසුවත් ‘මේ පිස්සු මනුස්සයා මොනවද මේ දොඩවන්නේ?’ යන සිතිවිල්ලයි මට ආවේ.
‘මං ධාතුසේන. මේ කලාවැව කරවපු ධාතුසේන’ ඔහු සන්සුන්ව පිළිතුරු දුන්නේය. ඒ පිළිතුර මට අදහා ගත නොහැකි විය.
’ඒ කියන්නේ අපේ සීගිරි කාශ්‍යප රජතුමාගේ පියාණන්?’
‘ඔව් මං තමයි ඒ ධාතුසේන. ඔබ වැනි අය මාව සීගිරි කාශ්‍යප ගේ පියාණන් විදියට මතක තියා ගන්නවා නම් ඒකත් මට සතුටක්. දරුවන්ගේ හපන්කම් අහන කොට දකින කොට දෙමව්පියන්ට ඇති වෙන සතුට මෙතෙකැයි කියන්න පුළුවන්ද? කාශ්යප පුතා. මට ඔබ ගැන හරිම ආඩම්බරයි.’ ඔහු උස් හඬින් කීවේය.
‘මං අහලා තියෙන විදියට කාශ්‍යප රජතුමා සිය පියාණන් ඝාතනය කරලා තියෙනවා.’ පුදුමයට පත් වූ මම කීවෙමි.
‘ඔව් අර මිගාරයාගේ බොරු කතා වලට රැවටිලා එයා ඒක කළා තමයි. ඒ වුණත් රටට දැයට වැඩක් කරපු මගේ පුතා එක්ක මගේ කිසි අමනාපයක් නෑ. මගේ පුතා කරපු දේවල් බලලා මිනිස්සු කියන කතා ඇහෙන කොට මං තරම් සතුටු වෙන කෙනෙක් තවත් මේ ලෝකේ නැතුව ඇති. කියන්න. ඔබේ පුතාත් කවදා හරි රටට කීර්තියක් ගෞරවයක් ලබා දෙන කාරියක් කළොත් ඔබට සතුටු නැද්ද?’
‘ඇයි නැත්තේ? ඒක මට කොයි තරං ආඩම්බරයක්ද?’
‘ඒ දරුවා කාගේ හරි කේලම් බහක් අහලා ඔබට අතවරයක් කළොත් එහෙම ඔබ ඒ දරුවට වෛර කරනවද?’
‘බෑ, මට ඒක කවදාවත් කරන්න බෑ.‘
‘මටත් එහෙමයි පුතා.’
‘එතකොට ඔබේ බාල පුතා මුගලන් ගැන ඔබට ආඩම්බර නැද්ද? ඔහු හමුදාවක් අරං ඇවිත් කාශ්‍යප එක්ක යුද්ධ කරලා ඔහුව පරාජය කරලා ඔබ මැරුව පලිය ගත්තා.’
‘මතක් කරන්න එපා. කලාවට අර තරම් සේවයක් කළ මගේ කාශ්‍යප පුතාව එයා විනාශ කළා. එහෙම නොවුනා නම් අද මේ මුළු ලංකාව ම එකම කලාගාරයක් බවට පත්වෙන්නට ඉඩ තිබුණා.’
‘ඒත් මුගලන් ඔබට තිබුණ ආදරය නිසා නොවේද එය කළේ?’
‘නෑ පුතා. ඒ දෙන්නම ආසා කළේ රජ කමටයි. කාශ්‍යප පියා මරා රජ වුණා. මුගලන් සොහොයුරා මරා රජ වුණා. ඒත් කාශ්යප ඒක කළේ මිගාරයාගේ මුසා බස් වලට රැවටුන නිසයි. ඒකත් මං කරපු පාපයක් නිසා වුණ දෙයක්.’
‘ඔබ කළ පාපයක් නිසා වුණ දෙයක්?’
‘ඔව්. ඔබ දන්නවනේ. මිගාර කියන්නේ මගේ හිටපු හමුදාපති. එයාගෙ හපන්කම් නිසා මං කොයි තරම් සතුටු වුණාද කිව්වොත් මගේ එකම දියණිය මං ඔහුට සරණ කර දුන්නා.’
‘ඉතිං ඇයි එහෙම නම් මිගාර ඔබට විරුද්ධව කටයුතු කළේ?’
‘මගේ දියණිය ගැන බොරු කේලාම් නිති පතා කියා මිගාර ගේ මාතාව මිගාර ලවා මගේ දියණියට කරදර හිරිහැර කරන්නට පටන් ගෙන තියෙනවා. දවසක් මගේ දියණිය හඬාගෙන මාලිගයට ඇවිත් මිගාර ඇයට පහර දුන් බව කිව්වා. ඇගේ මුහුණ ඉදිමී දෙකම්මුලෙහි ඇඟිලි සලකුණු ද මා දුටුවා. පියෙක් වශයෙන් කෝපයක් ඇති වීම සාධාරණ නැද්ද? මා ඒ මොහොතෙහිම රාජපුරුෂයන් යවා ඔහුට දඬුවම් කිරීමට සිතුවා. එහෙත් රාජපුරුෂයන් එහි යන විට ඔහු පලා ගිහින්. මගේ සිතේ වූ කෝපය තවත් වැඩි වුණා. ඒ නිසයි මා ඔහුගේ මෑණියන් මාලිගයට කැඳ වූයේ. ඇය මගේ දියණියට නිග්රහ කරන්නට වුණා. කෝපයෙන් වියරු වූ මා ඇ ගිණි මැලයකට දමන්නට අණ කළා. මා කළේ ලොකු වරදක් බව මා පිළිගන්නවා.’
‘ඉතිං ඒ ගැන කාශ්‍යප කෝපයට පත්වීමට කිසි හේතුවක් නැහැනේ?’
‘කාශ්‍යප ගේ හොඳම මිතුරා කලාව. ඊළඟට හිටි හොඳම මිත්රායා තමයි මිගාර. මිගාර කාශ්‍යප හමු වී මා හොර රහසින් මගෙන් පසු රජකම මුගලන් හට දීමට කටයුතු කරනවා යැයි කියා මා ඔහු කෙරෙන් බිඳ වූවා.’
සඳ රැසින් බබලන ආකාශය දෙසත් සඳ කැන් වැදී විචිත්ර්වත් සිතුවමක් ලෙස පෙනෙන කලා වැව හා ඒ අවටත් නෙත් හෙලූ ධාතුසේන රජතුමා යළිත් කතාව පටන් ගත්හ.
‘මා සිර කර රජ බවට පත් වූ කාශ්‍යප පසුව මිගාර ගේ වදන් පිළිගෙන මා මුගලන් හට දීමට සඟවා ඇති වස්තුවක් ඉල්ලමින් නිතර කරදර කරන්නට වුණා. මා සැඟවූ වස්තුවක් නැතැයි කියා කොතෙක් කීවත් ඔහු පිළිගත්තේ නෑ. අවසානයේදී මගේ වස්තුව ඔහුට දීමට නම් එක් වරක් මට කලාවැවෙන් නෑමට ඉඩ දෙන්නැයි මං අවසර ඉල්ලූවා. ඒ අනුව කලාවැවෙන් හිතේ හැටියට නා ගත් මම ඉන් වතුර දෝතක් ගෙන මේ තමයි මට දෙන්නට තිබෙන ලොකුම වස්තුව කියා කීවා. ඉන් කෝපයට පත් වූ කාශ්‍යප මා මරා දැමීමට අණ කලා. කාශ්‍යප පුතා. ඔබ රැවටිලි කාරයකුගේ බසට මුළා වුණා. ඔබ හා මගේ කිසිම අමනාපයක් නෑ පුතා.’
පුදුමයෙනුත් පුදුමයට පත් වෙමින් මා ඔහු කී වදන් අසා සිටියෙමි.
‘අයියා.... අයියා....’
‘මාව හොයන්න මස්සිනා ඇවිල්ලා. මං යන්නම්.’ මම ධාතුසේන රජතුමා දෙසට හැරී කීවෙමි. ඔහු මට අවසර දෙන්නට මෙන් හිස සැලීය.
‘අයියා මොනවද මේ කරුවලේ බිම ඉඳගෙන කරන්නේ? මාලේ හම්බ වුණාද?’
‘ඔව් මල්ලි. මේ ඉන්න ධාතුසේන රජ්ජුරුවෝ.....’ මම ධාතුසේන රජතුමා සිටි තැනට නෙත් යොමු කළෙමි. එතැන දැන් කිසිවකු නැත.
‘අයියට මෙතන නින්ද ගියා වගෙයි. නියම හීනයක්නෙ අයියා දැකලා තියෙන්නේ?’
‘හීනයක්. ඒක හීනයක්ද?’ මම මගේ සාක්කුවට අත දැමුවෙමි. දියණියගේ රත්තරන් මාලය එහි ඇත.
‘අපි යමු මල්ලි’ කී මම ඔහු සමඟ එතැනින් පිටත් වුණෙමි.
-සමන් මහානාම දිසානායක
(image: http://touristguide.ncp.gov.lk/bin/things-to-see/details/index.php?id=56)
Labels:
අපේ නිර්මාණ,
කෙටිකතා,
සමන් මහානාම දිසානායක
Subscribe to:
Post Comments (Atom)
කෙටි රජ හොල්මන් කතන්දරයක් උනත් කියවා රසයක් වින්දා!
ReplyDeleteඅගෙයි ... කියවල රස වින්දා.....විශේෂෙන්ම මාලේ සාක්කුවේ තුබුන කියල, හොල්මන් කතාවක් නොකර, හීනයක් කරපු එක හොඳටම හොඳයි. ධාතුසේන රජ්ජුරුවන්ගෙ පැත්තෙන් කතාව කීම, හොඳ අලුත් අදහසක්.
ReplyDelete