ඕනෑම මිනිස් සමාජයක, ඔවුනටම අනන්‍ය වූ සුවිශේෂී ජීවන ක‍්‍රමයක් පවත්නේය. හුදු මිනිස් ඇවතුම්, පැවතුම් වලින් පමණක් නොව, ඔවුන් ගරු කරන හර පද්ධති රාශියකින්ද, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, ආචාර, සමාචාර මෙන්ම ආගමික ඇදහිලි හා කලා ශිල්ප යන මේ සියල්ලෙන්ම විචිත‍්‍රවත් වූ එම සුවිශේෂී ජීවන ක‍්‍රමය, එම ජන කොට්ඨාශයේ සංස්කෘතිය ලෙස සලකනු ලබයි.
සියළුම ජන කොට්ඨාශ ඔවුන්ටම ආවේණික වූ සුවිශේෂී වූ සංස්කෘතියක හිමිකරුවෝ වෙති. මුළු ලොවම විශ්ව ගම්මානයකට, විශ්ව සංස්කෘතියකට අවතීර්ණ කරමින්, සන්නිවේදනය, ගමනාගමනය මෙන්ම, මාධ්‍ය යන ක්‍ෂේත්‍රවල වත්මනෙහි සිදුවී ඇති මේ මහා පෙරළිය හමුවේ, වුවද, ලොව වෙසෙන ශිෂ්ඨ සම්පන්න යැයි සැලකෙන සියළුම ජන කොට්ඨාශ ස්ව සංස්කෘතික අනන්‍යතාවය පවත්වා ගනිමින් ජීවත් වන බව පෙනේ. ඔවුහු කාලයෙන් කාලයට හා පරිසරයට උචිත අයුරින්, තම ජීවන ක‍්‍රමය යාවත්කාලීන කර ගත්තද, ස්වකීය අනන්‍යතාවය පවත්වා ගනිමින් තමනට සුවිශේෂී වූ රටාවක් තුළ ජීවන ක‍්‍රමය හැඩ ගසා ගෙන ජීවත් වෙති.
සිංහල සම්භවයක් ඇති අපගේ ජීවන ක‍්‍රමය සැකසී ඇත්තේ, අවුරුදු 2500කටත් වඩා දුර අතීතයක සිට පැවතෙන වැදගත් හර පද්ධතියකින් පෝෂණය වූ ප්‍රෞඩ සංස්කෘතියක් ඇසුරු කරගෙනය. විවිධ ජනපදනමක් හා සංස්කෘතියක් ඇති ඕස්ටේ‍්‍රලියානු සමාජයට විගාමික ජන කොටසක් ලෙස අප අනුගත වී ඇතත්, හැදුණු වැඩූණු ඒ සමාජයේ සංස්කෘතිය අපගේ ජීවිත සමඟ ගැඹුරින් බද්ධ වී ඇත.
ආදි වාසීන් හැර අනෙකුත් සියළුම ඕස්ටේ‍්‍රලියානුවෝ විවිධ වාර්ගික මෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන් ගෙන් සැදුම් ලත් සංක‍්‍රමණික ජන කොට්ඨාශයන් ප‍්‍රභවය කර ගෙන පැවත එන්නෝ වෙති. මෙකී ජන්මීය විවිධත්වය පසෙක තැබූ මොවුන් එක් දේශයක් තුළ, එක් ජාතියක් ලෙස එකට විසුව ද, තම වාර්ගික මෙන්ම සංස්කෘතික අනන්‍යතාවයන්ට ගරුකරමින් ජීවත් වීමට පුරුදු පුහුණු වී ඇත.
උපන් මව්බිමෙන් ඈත්ව ජීවත් වුවද, අප සම්භවයෙන් ශී‍්‍ර ලාංකිකයන් වන්නෙමු. දරුවන්ට උගත්කම, ධනය හා යස, ඉසුරු, සම්පත් ලබා දීම පමණකින්, අපට සෑහීමකට පත් විය නොහැක. අපගේ මුතුන් මිත්තන් දීර්ඝ කාලයක් තිස්සේ පෝෂණය කරමින් රැකගෙන පැමිණි, සිංහල සංස්කෘතික අනන්‍යතාවයකට හා ඒ හා බැඳුණු පෞඪ ඉතිහාසයකටද, උරුම කම් ඇති අප, එම සාඩම්බර උරුමය අපේ ගේ දූ දරුවන්ට ද , යම් තරමකින් හෝ හඳුන්වා දීමේ, පරම වූ යුතුකමක් අප වෙත පැවරී ඇත. ලෝකයේ කිනම් දිග්භාගයක විසුවද, අන්‍ය සංස්කෘතීන් සමඟ සහජීවනයෙන් වෙසෙමින්, අභිමානවත්ව, තම ජාතියේ අනන්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීමටත්, එය රැක ගැනීමටත්, අවශ්‍ය ආකල්ප හා පෞරෂය දූ දරුවන් තුළ ඇති කරලීමට අපට හැකි නම් එය ඉතාම වැදගත්ය.
තම සංස්කෘතික උරුමයෙහි අභිමානය හැඳිනගත් දරුවන් ලොව කිනම් දෙසක විසුවද ඔවුන් අපේ දෙස, බස, රැස රකින සැබෑ වීරයන් වනු නියතය.
-දීපිකා ශ්රියාණි සුන්ද්‍රා වඩුගේ
මගේ අත්පොලසන් නාදය පිළිගන්න
ReplyDelete