Tuesday, December 27, 2011

මුරලි පුතා සහ දූසර පන්දුව - Muralidaran and his Doosra : ඥාණතිලක හේවාගමගේ


ඇස් කැරකෙනා රුව දකිමින් පිත්ත තියා
ඉන්නා පිතිකරුට සංයමෙ නැතිව ගියා
අහසට ඉගිලුනා පන්දුව ද6ගය කියා
ලෝකෙන් උතුම් රට කියලා දැවී ගියා

මුරලි පුතාගේ ඕවර කොතැන කියා
සද්දන්තයින් ලෙස වැජඹෙන සැවොම බයා
ඉවතට දෝ ඇතුළට දෝ එන්නෙ කියා
දූසර පන්දු කැරකුම නැත පොතේ ලියා

දිලිසෙන පැත්ත කැරකුම සහ වේගෙ ලියා
පර්යේෂණ දනන් සිටියා දෙනෙත අයා
බෘනලි සිද්ධාන්තෙට පටහැනිය කියා
කල්පිත වාදයක් මුව මුව පැතිර ගියා

එක පිට එක බිඳී වැටෙනා කඩුලු බලා
ඔල්වරසන් නගයි නරඹන මිනිස් කැළා
අදමිටු දනන් සිටියත් දැක උරණ වෙලා
මිතුරන් සිටී වට පිට නුඹ රකිනු බලා

ලෝක කුසලාන පොදි බැඳ මගෙ නොකියා
නිහතමානයේ හිණි පෙත්තටම ගියා
කණ්ඩායමේ අභිමානය රකින නියා
මමත්වයේ සිතුවිල්ලෙන් පහව ගියා

තරු සමගින් පැමිණ එකමුතු කමද තියා
කි‍්‍රකට් කී‍්‍රඩාවෙ ජය ටැඹ රැගෙන ගියා
සිරිලක දනන් සැනසෙයි නුඹෙ යසස කියා
දිලියන් පුතුනි! ලොව නොමැකෙන ලකුණු තියා

ඥාණතිලක හේවාගමගේ
සිඞ්නි


(image: http://vivsportings.blogspot.com/2010/07/magic-of-muttiah-muralitharan.html)

2 comments:

  1. දැන් ලංකාවට තව මුරලි කෙනෙක් ඕනෙ කාලෙ

    ReplyDelete
  2. ඥාණතිලකගේ කව් මිනි
    පන්දු හතරේ ඕවර මෙනි
    කැරකෙන ඇස් කෙවෙනි
    විනිවිද දකින සැටි පෙනිනි

    nihal R

    ReplyDelete