එකල් හි තිලොවට තිලක වූ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ සූ අසූ වසරක තම අනුපමේය ලෝකානුකම්පික ධර්ම සේවය නිමවා, පංච සහශ්රකයක කාලයක් ලොව සුදනන් සුරකින්නට තම නිමල දහම ලොව රඳවා, ජම්බුද්වීපය නොහොත් උතුරු කුරු දිවයිනේ මලල රට කුසිනාරා වේ දී පිරිනිවා වදාළ සමයේ, එකී උතුරු කුරු දිවයිනෙන් නැව් නැගි විජය නම් රාජ කුමාරයෙක් සත් සියයක් වූ තම බල සෙනඟ ද පිරිවරා ගෙන තම්බපණ්ණී ලෙස නම් ලද ලඬ්කාද්වීපයට ගොඩ බැස, එහි තම රාජ්‍යය පිහිටුවා ලූ හ.
විජය රාජ කුමාරයා ඇතුළු පිරිස ගෙන ආ ජම්බුද්වීප මහා සංස්කෘතිය ද, යක්ෂ, නාග, දේව ආදී විවිධ දේශීය සංස්කෘතීන් ද මූලාශ්‍ර කොට ගෙන එදා ඇරඹි නව සංස්කෘතිය, එතැන් පටන් අද දක්වා විටින් විට ජම්බුද්වීපයේ විවිධ ප්රාන්තයන්ගෙන් ලඬ්කාද්වීපයට පැමිණි චෝල, පාණ්ඩ්‍ය ආදී පෙරදිග සංස්කෘතියෙන් ද, යුරෝපාකරයේ පෘතුගිරිසි, ලන්දේසි සහ ඉංගිරිසි ආදී අපරදිග සංස්කෘතියෙන් ද ඔප් නැංවී සිංහල සංස්කෘතිය ලෙස අද දක්වා චිරාත් කාලයක් තිස්සේ ලඬ්කාද්වීපයේ පැවතගෙන එන්නේය.
තවද, පෘථිවිය නම් වූ අප මහා ධරණිතලයේ දක්ෂිණාර්ද ගෝලයේ එක් කෙළවරෙක පිහිටි එක් සුවිශාල දිවයිනකි. නෙත් සිත් අශ්වසන්නා වූ ද, ගත සිසිල් කරවන්නා වූ ද, ශාන්තිකර සහ ඉන්දියානු තුමුල සාගර ද්විත්වයෙන් වට වී සැදුණු මේ සුන්දර භූමිය එහි භූගෝලීය පිහිටීම නිසා ම හෙල කවි බසින් "දකුණු කුරු දිවයින" ලෙසින් නම් ලද්දේය.
උත්තර සූර්යයා ගේ සෞම්‍ය හිරු රැස් මැද ශීත ශිශිරයේ ගිලෙනා ශ්වේත වර්ණ හිම කන්දෙන් ද, දක්ෂිණ සූර්යයා ගේ චණ්ඩ හිරු රැුසින් මැඩෙමින් නීල වර්ණය විහිදුවන තුරු පිරි නිල් කඳු පෙළින් ද, යොදුන් ගණන් එක යායට විහිදුණු හරිත වර්ණ ගෝ පාලන තණ බිම් සහ කෙත් වතු වලින් ද, දුඹුරු වන් දුහුවිලි පස මිස අන් කිසිදු ජීව ගුණයකින් තොර වූ කර්කශ ශුෂ්ක කාන්තාරයෙන් ද, ලොව අන් කිසි බිමෙක දක්නට නොලැබෙන්නා වූ කැන්ගරු, ප්ලැටිපුස්, ක්වෝලා, වොම්බැට් ආදී සත්ව විශේෂයෙන් ද, ඉයුකැලිප්ටස්, ඇකේසියා, බෑන්ක්ෂියා ආදී වෘක්ෂ ලතාවෙන් ද හෙබි, ශීත කලාපීය දක්ෂිණ ද්රැවය සමීපයේ ම වාගේ සිට ඝර්ම කලාපීය සමකාසන්නය දක්වා ම වාගේ විහිදෙන්නා වූ මේ මහා භූමිය, පුරා වසර හැට දහසකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඇබොරිජිනල් ස්වදේශිකයින් විසින් ඔවුන් ගේ වන සරන, දඩයක්කාර, පලවැල රැුස්කරන ජීවන රටාවට අනුව ජනාවාස කරන ලදුව පැවතිණ.
"ටෙරා ඔස්ට්රාලිස්" හෙවත් දකුණු බිම නමින් ඇසින් නොදැක හඳුන්වන්නට යෙදුණු දක්ෂිණාර්ද ගෝලයේ පිහිටි මහා භූමියක් ගැන යුරෝපීයන් අතර දිගු කලෙක සිට අනුමානයක් පැවතිණ. අදින් සියවස් හතරකටත් ඉහත සමයෙක රුවල් බැඳි නෞකාවෙන් සමුද්‍ර ගවේෂණය කළා වූ විවිධ නෞකාපතීන් විසින් විවිධාකාරයෙන් මෙය සනාථ කරන ලදුව, අනතුරුව ජේම්ස් කුක් නමැති බිරිතානි කප්පිත්තා විසින් නිසැකවම දැන සිතියම් ගත කරන ලදී. ඉනික්බිත්තෙන් එංගලන්ත රාජාණ්ඩුවේ අණ පරිදි සිරකරුවන් රැුසක් ද සමග මෙහි ගොඩ බට ආතර් පිලිප් නම් වූ කප්පිත්තා විසින් මේ මහා දක්ෂිණ භූමියේ නගර මං මාවත් වගා බිම් සහිතව ජනාවාස පිහිටුවන්නට යෙදිණි. එයිනුත් වර්ෂ ශතකයක් පමණ ගෙවී ගිය තැන් හි, එවකට පිහිටුවා තිිබූ සියලු ජනපද එක් කර අද පවතින ඕස්ටේ්රලියාව නම් වූ රාජ්‍යය මේ බිමේ ස්ථාපිත කරන ලදී.
මුල් කාලයේ දී ස්වදේශික ඇබොරිජිනල් ජාතිකයින් පීඩනයට ලක් කරමින්, ඔවුන් ගේ වාස භූමි කොල්ල කමින්, මේ භූමියේ වාසය සඳහා පැමිණීම යුරෝපාකරයේ සුදු ජාතිකයින් ට පමණක් සීමා කරමින් රාජ්‍යය පවත්වා ගෙන ගිය ද, මෑත අතීතයේ දිනෙක ස්වදේශිකයින් හා සමගි සන්ධාන කි‍්‍රයාවලික් අරඹා, සුදු ඕස්ටේ්රලියානු පිළිවෙත අහෝසි කර ලොව සියලු ජන කොටස් වලට ඕස්ටේ්රලියාව හෙවත් දකුණු කුරු දිවයින හිමි කර දෙමින් බහු සංස්කෘතික රාජ්‍යයක් පිහිටුවන්නට සැලසුම් කර කි‍්‍රයාත්මක කරන්නට යෙදුණි.
මේ අවසරයෙන්, පෙරකී ලඬ්කාද්වීපයේ පසල් දනව්වල සිට මෙකී දකුණු කුරු දිවයින ට සංක්‍රමනය කල සිංහල පිරිස් බොහෝ ය. ඔවුනතුරෙන්, දකුණු කුරු දිවෙහි පූර්ව දිසාවෙහි පිහිටි නව දකුණු වේල්ස ප්‍රාන්තය තම අභිනව වාස භූමිය ලෙස තෝරා ගත්තාවූ ද, තම සිංහල භාෂාව සහ සංස්කෘතිය මේ නව බහු සංස්කෘතික සමාජය තුළ ස්ථාපනය කර ඉදිරි පරපුර සඳහා ද සුරක්ෂිත කල යුතු යැයි අධිෂ්ඨාන පූර්වකව ප්‍රාර්ථනා කළා වූ ද පිරිසක් එකතුව අදින් දශක දෙකකට පෙරාතුව සිංහල සංස්කෘතික හමුව නමින් ප්‍රජා සංවිධානයක් පිහිටුවා ලූ හ.
එදා මෙදාතුර, මෙකී සිංහල සංස්කෘතික හමුව විසින් ඉෂ්ට කරන්නට යෙදුණා වූ සද්කාර්යයන් රාශියෙකි. මේ දේශයේ වාසය කරමින් සිංහල සංගීත, නර්තන, රංගන යනාදී කළා කටයුතු වල නිරතවන්නන් ගේ ද, එවැනි කලාවන් රසවිඳින්නන් ගේ ද යහපත පිණිස නිතිපතා කළා මහෝත්සව සංවිධානය කිරීම ද, ඉදිරි පරපුරට අපේ සිංහල භාෂාව හා සිංහල සංස්කෘතික උරුමය දායාද කර දීමට සිංහල භාෂා පාසල් පිහිටුවා පවත්වාගෙන යාම ද, මේ දකුණු කුරු දිවයින තුළ සිංහල ලේඛන කලාවේ උන්නතාභිවෘද්ධිය සඳහා සිංහල නමින් ත්‍රෛමාසික සඟරාවක් ප්‍රකාශයට පත් කිරීම ද මේ අතර වේ.
මේ කටයුතු තවත් ඉදිරියට රැගෙන යමින්, ලේඛන කලාවේ යෙදෙන ඕස්ටේ්රලියානු වාසී සිංහලූන් විසින් තම සංක්‍රමණික අත්දැකීම් අළලා ප්‍රබන්ධිත කෙටිකතා අඩංගු පුස්තකයක් තිරස තරණ නමින් ව්‍යවහාර වර්ෂ 2008 දී එලි දක්වන්නට යෙදුණි. ශී‍්‍ර ලංකාව කේන්ද්‍රස්ථානය කොට ගත් සිංහල සාහිත්‍ය ක්ෂේත්රයේ එක් වැදගත් අංගයක් වන විගාමික සිංහල සාහිත්‍යයෙහි පෝෂණය සඳහා මෙවැනි ප්රකාශනයන් හි ඇති වැදගත්කම මෙහිදී විශිෂ්ඨ ලෙසින් දෘශ්‍යමාන විය.
සිංහල පද්‍ය සාහිත්‍යයට ද යම් කිසි ආකාරයකින් විගාමික සිංහලූන් ගෙන් සම්මාදමක් කල යුතුය යන සංකල්පය ඇති වූයේ ඉන් අනතුරුව ය. සිංහල සංස්කෘතික හමුවේ විසිවන සංවත්සරය පිණිස සිංහල මහා කාව්‍ය සම්ප්රදායේ ලක්ෂණ උපයෝගී කොට ගනිමින් සැකසුණු "දකුණු කුරු දිව් කව්" කාව්‍ය සංග්‍රහය 2010 වසරේ දී එළි දක්වන ලදී.
එකී සිංහල නම් වූ සඟරාවට ලිපි සපයන, තිරස තරණ කෙටිකතා සංග්‍රහයට සහ දකුණු කුරු දිව් කව් කාව්‍ය සංග්‍රහයට දායකත්වය සැපයු සිඩ්නි පුරවරයේ ලේඛක කැළ එකතුව වසර 2009 නොවැම්බර් මස දී මෙම ලේඛක සංසදය පිහිටුවා ගන්නා ලඳී.
No comments:
Post a Comment