Friday, December 2, 2011

කබාය ඉරිලා ඊට කමක් නෑ - (කෙටිකතාවකි) ලක්‍ෂ්මන් රන්දෙනිය


දඩ බඩස් යන හඬින් පඩිපෙල දිගේ යමක් පහත මාලය වෙත පෙරලී ගෙන එන හඬින් සෞම්යා ගේ දැහැන බිඳුනි.

ඉන්පසු නිවස පුරා දැඩි නිහඬතාවයක් ඇතිවිය. "අනේ මගෙ කොන්ද" යන දේශප්රිය ගේ කෙඳිරිල්ල පඩිපෙල පාමුලින් නික්මුනේ එම නිහඬතාවය බිඳිමිනි.

"මොකද ඔයා උඩ කරණමක් ගහන්න ගියාද?" සෞම්යා ඇසුවේ මැසිවිල්ලක ස්වරූපයෙනි.

වත්තේ තණකොල කැපීමෙන් මිදීම සඳහා ඕනෑම ආකාරයේ කපටි කමක් කිරීමට දේශප්රිය මැලි නොවන බව ඇය හොඳින් දන්නීය.

එහෙත් ඔහුගේ මුහුණ දුටු පමණින් මෙවර නම් සත්ය වශයෙන්ම තම සැමියා පඩිපෙල පහලට පෙරලී ඇති බව සෞම්යා ට පසක් විය.

"නෑ, මේ කකුල පොඞ්ඩක් ලිස්සුවා" දේශප්රිය සෙමින් මිමිණුවේය.

කොන්ද පාමුලින් පටන් ගන්නා වේදනාව වරෙක දෙපා දෙසටත් වරෙක හිස් මුදුන වෙතත් ව්යාප්ත වෙන විට දේශසීමාවක් හරහා ත්රස්තවාදී කණ්ඩායම් දෙකක් මිසයිල ප්රහාර හුවමාරු කර ගන්නා වැනි හැගීමක් ඔහුට දැනේ.

සෞම්යා ගේ දෑතේ වෙරෙන් නැගිට ගත් ඔහු, ඇගේ සිරුරෙන් වාරු ගෙන සාලයේ කවුච් එකට ගමන් ගත්තේය. ඔහු එහි වාඩිවූයේ ගිනි අඟුරු ගොඩක වාඩි වෙන ආකාරයක් සිහිපත් කරවමිනි.

"මං ඔයාට කී සැරයක් කියල තියෙනවද ඔය යෝගා කෙහෙල්මල කරන්න එහාට මෙහාට නැමෙන එක පඩි පෙළ ලඟ ඉඳන්ම කරන්න එපා කියලා" සෞම්යා ගේ කඩ හඬින් නිවසේ නිහඬතාවය යලි බිඳුනේය.

ඇයගේ කතාව ඇත්ත බව දේශප්රිය දනී. යෝගා පොතකින් බලාගෙන සටන්කාමියා ඉරියව්ව (Warrior Pose) කිරීමට ගොස් මීට පෙරද කීප වරක්ම සිරුරේ සමතුලිත තාවය බිඳීමෙන් පඩිපෙළ දිගේ පෙරලීමට ගොස් බේරුනේ අනූ නවයෙනි.

"තාත්තෙ ඔයා drugs ගහලද ඉන්නේ" දේශප්රිය ගේ යොවුන් දියණිය දිනක් ඇසූ අයුරු ඔහුට තාමත් මතකය. අවාසනාවකට මෙන් මෑතක සිට පඩිපෙල බැසීමට පෙර යෝගා ඉරියව්වක් කිරීමට දේශප්රිය ගේ සිත බල කරන්නේය. අද සිදුවුනේද එම දේමය.

"තාම කොල්ල වගේ කියල හිතාගෙන කරන පිස්සු වැඩ දැන්වත් නවත්තන්න!" සෞම්යා සුපුරුදු අනුසාසනාව කළාය.

"හරි, හරි!" දේශප්රිය සුපුරුදු පිළිතුර දුන්නේය. එම ස්වරයේ අර්ථය තේරුම් ගැනීමට සෞම්යා ට නොහැකි විය.

මැදිවියේ පසුවන දේශප්රිය ගේ හදවතෙහි, අසුර ගැසූ සැනින් පලා ගොස් නොපෙනෙන මානයක සදහටම සැඟවී ගිය සිය තරුණවිය පිළිබඳ මතකය, සියුම් වේදනාබර හැගීමක් ජනිත කරයි.

එක් දිනක පි්රය සාදයකදී මේ ගැන සාකච්ඡාවක් කළ විටක ජයනන්ද ප්රකාශ කළ දෙයක් දේශප්රිය දැඩි ලෙස හිතට ගත්තේය. "යෝගා ටිකක් කරල ජොගින් පාරක් දැම්ම නම් හැමදාම කොල්ල වගේ ඉන්න පුළුවන්."

දේශප්රිය පසු දිනම පොත් හලකට ගොස් යෝගා පිළිබඳ ලියැවුනු පොතක් මිලදී ගත්තේය. එහි සටහන් ඉරියව් සහ ආසන පුහුණු වන්නට පටන් ගත්තේය.

"ගෙදර වැඩ කොරන කොට ඕකෙ තියෙන ඉරියව් ඔක්කොම කෙරෙනවා" තමා සමග යෝගා කිරීමට දේශප්රිය කළ ආදර ආරාධනය කාරුණිකව ප්රතික්ෂේප කරමින් සෞම්යා කීවාය.

යෝගා කරන්නට ගොස් කොන්ද කඩා ගැනීමේ උවමනාවක් ඔහුට නොතිබුනත් මිතුරන් දුන් අවවාද ඒ අයුරින්ම පිළිපැදීමට ගොස් තම සිරුරට දේශප්රිය විසින් මීට පෙරද බරපතල හානි සිදුකරගෙන ඇත්තේය.

වසන්තයේ පිපි සුවඳ මල් කැකුලක් මෙන් තාරුණයේ සුවදින් තම ජීවිතය වෙලී තිබුනු කෙටි සමය දේශප්රිය ගේ සිහියට නැගෙයි. නා නා විධ වර්ණයෙන් පැහැගත් සරසවි මල් උයනේදී, ජීවිතයේ තරුණ උදානය පොත්පත් අතර මිතුරු කැලගේ සිනාවන් අතර, සිහින මාළිගා අතර සහ හන්තානේ මිහිදුම් පොදි අතර සැඟව ගියේ නිතැතිනි. එම මිහිරට පංගු කාරියක් කර ගැනීමට සෞම්යා පසුපස නොකා නොබී දුක් විඳිමින් ගිය අතීතය ඔහුගේ මනසේ සදාතනිකව සටහන්වී ඇත.

තම තරුණ ජීවිතයේ ආරම්භක සන්ධි ස්ථානය ලෙස දේශප්රිය සැලකුවේ ර සරසවියට යෑමට යෑමට සතියකට පමණ පෙර තම මව්තුමිය විසින් දුන් අවවාදයකි.

"දැන් ඔයා ඉංජිනේරු මහත්තයෙක් වෙන්න යන නිසා ගැහැණු ළමයින්ගෙන් බේරීමක් නැතිවෙයි. පරිස්සම් වෙලා ඉන්න."

අම්මා කෙසේ කීවත් සරසවියේ යුවතියන් තමා පසු පස හඹා එන අයුරක් ඔහුට නොපෙනුනේය. අවසානයේ තම සිත ගත් යුවතිය සෞම්යා ට, දිවා රෑ නොබලා try කරන්නට ඔහු සිතුවේ එබැවිනි.

කුඩා කල සිටම තරුණ ජීවිතයේ රස විඳින්නට දේශප්රිය පෙරුම් පුරාගෙන බලා සිටි අයුරු දේශප්රිය ගේ සිහියට නැගෙයි. ළමා වියේදී කට ගැසීමට ගොස් ඇඟ පත ඇති කොල්ලන්ගෙන් ගුටි බැට කන විට "මං ලොකුවෙලා උඹල ඔක්කොටම දෙන්නම්!" කියා ඔහු තමාටම කියා ගත්තේය.

උදක් පෙරුම් පුරා බලා සිටි එම තරුණ දිවිය අසුරු සැනකින් එලඹී, අසුරු සැනකින් ගිලිහී ගිය අයුරු දේශප්රිය ට අදද සිහිනයක් මෙනි.

"මහත්තය තරුණ කම තියෙන්නෙ හිතේ. හිතෙන් තරුණයෙන් වෙලා ඉන්නකම් අපි නාකි වෙන්නෙ නැහැ!" දේශප්රිය ගේ මැසිවිල්ලකට පිළිතුරු වශයෙන් පන්සලේ ලොකු හාමුදුරුවන් දිනක් ඔහුට අවවාද කළේය.

එම සාධුවරයාගේ උතුම් සාරධර්මය අනුව දිවි පෙවත ගෙවන බවට දැඩි ලෙස අදිටන් කරගෙන ඔහු එදා නිවසට ගියේය. එහෙත් සෞම්යා විසින් දිනපතා කොලොස්ටරෝල් පෙති බීමට මතක් කරන විටද, කෙස් අඩුවී යන බැවින් ශීත සෘතුවේදී තම ශරීරය ශීතකරණයක් මෙන් ශීතල වන විටද, සටන්කාමියා යෝගී ඉරියව්වෙන් සිටගත් විට පඩිපෙළ දිගේ පහලට පෙරලෙන විටද, නිදි යහනේ දී සිරි දෙව්දුවට කලින් නිදි දෙව්දුව තමා වැලඳ ගන්නා විටද, සිතින් සිතා ගන්නා තරුණ කමේ එතරම් ඵල ප්රයෝජනයක් නැතිබව ඔහුට වැටහුනි.

"අංකල් බඩ ටිකක් ඇවිල්ල නේද?" දිනක් පුතාගේ සරසවි මිතුරෙක් කළ නෝන්ජලය දේශප්රිය ට සිහිවිය. ඉනවටා පරිමිතිය සීඝ්රයෙන් වර්ධනය වෙමින් පවතින බව ඔහු වටහා ගත්තේ, ඊට පෙර සතියේ තම ඉන පටියට නැවත වරක් අළුත් සිදුරක් විදීමට සිදුවූ විටයි. ඇස් පෙනීම තරමක් අඩු බැවින් එම සිදුර විදීමට ගොස් ඇඟිල්ලක්ද තලාගත් අයුරු ඔහුට අමතක නැත.

"පුතා ඉතින් වයසට යන කොට කාටත් බඩ ටිකක් එනවානේ!" දේශප්රිය සමාව අයදින සුළු හඬකින් ප්රකාශ කලේය. තමා වයසට යන බවක් ඊට පෙර ඔහු විසින් කිසි දිනෙක කිසිවෙකුට කියා නැත. "ඒ වුනාට අංකල්ට වැඩි වයසක් නැහැනේ" දේශප්රිය ගේ සිත හැදීමට මෙන් එම තරුණයා කළ ප්රකාශය අසා තමා දුක් විය යුතුද, සතුටු විය යුතුද කියා දේශප්රිය ට නොවැටහිනි.

තම මව විසින් තරුණියන්ගෙන් ප්රවේශම් වන ලෙස කිවූ දිනය තම තරුණ දිවියේ ආරම්භක දිනය ලෙස සැලකූ දේශප්රිය ට, එම වසන්ත සමයේ අවසන් දිනය ලෙස සටහන් කළ හැකි දිනයද මතකයේ රැඳී ඇත.

එදා ගී්රෂ්ම සෘතුව ආරම්භයේ මිතුරු පවුල් කිහිපයක්ද සමග නගරයේ උද්යානයකට ඔවුන් ගියේ BBQ එකක් දැමීමටයි. පුතාගේ බයිසිකලය රැගෙන උද්යානය වටා පොඩි රවුමක් ගැසීමට ගිය දේශප්රිය ට අමුතු හති ගතියක් දැනෙන්නට විය. අවුරුදු ගනනාවකට පෙර දුම් පානයට ඇබ්බැහි වී සිටි සමයේ පඩි පෙලක් නගින විටද එවැනිම අපහසුතාවයක් ඔහුට දැනී ඇත. සෞම්යා ගේ බලකිරීම නිසා ඔහු පසුදා දොස්තර මහතෙකු හමුවීමට ගියේය.

ඔහුගේ සිරුර මනා ලෙස පරීක්ෂා කර එම වෛද්යවරයා "Let’s see, … your weight is too high, your pressure is high, your cholostorol is high, your blood sugar is high. Basically, you have everything in excess, much more than you want" කියා කීවේය.

තුෂ්නිම්භූතවී ගිය දේශප්රිය සිතට ධෛර්යය ගෙන "I didn’t know you joke doctor" යයි මිමිණුවේය.

දේශප්රිය ගේ මුහුණ දෙස තත්පර කිහිපයක් නිහඩතාවයෙන් බලා සිටි වෛද්යවරයා, "I don’t joke, Desh" කියා කීවේ බැරෑරුම් මුහුණක් මවමිනි.

බෙහෙත් වර්ග පහක්ද සමග දේශප්රිය එදා ගෙදර පැමිණියේ අන්ද මන්ද වී ගිය සිතිනි.

යොවුන් වියේ සිටින තම දයාබර දියණිය පහත මාලයට බසින ශබ්දයෙන් දේශප්රිය තම දැහැනින් මිදුනේය. කුමාරියක් මෙන් සැරසී ගිය ඇගේ සිරුරින් නික්මුණු විළවුන් සුවඳින් දේශප්රිය ට කලන්ත ගතියක් මෙන් දැනුුනි. මව සහ පියා දෙස සිනා මුසු බැල්මක් හෙළු ඇය "Love you, see you" කියා විදුලි වේගයෙන් පිටවී ගියාය.

දේශප්රිය "Where are you going?" කියන්නටත් පෙර ෙදාර වැසෙන ශබ්දය ඔහුට ඇසුනි. "අර දුව කොහෙද ගියේ" අන්ද මන්ද වී ගිය දේශප්රිය ඇසුවිට, "දුව යාළුවෙකුගෙ ගෙදර ගියා, තරුණ ළමයින්ව ගෙවල් වල කොටු කරල තියාගන්න පුළුවනියැ?" සෞම්යා ඇඟට නොදැනෙන ගණනට කීවාය.

"කොහොමද මං මේ ගෙදර වෙන කිසි දෙයක් දන්නෙ නැත්තෙ. මං දැන් අවලංගු කාසියක් වගෙ මේ ගෙදර" දේශප්රිය නැගූ මැසිවිල්ල කණ වැකුණු වගක්වත් සෞම්යා හැඟෙව්වේ නැත.

සෞම්යා සහ තමා විවාපත් වී ගෙවූ මුල් කාලයේ ඇයගේ ආදර සෙනෙහසින් ඔහුගේ දිවිය වෙලී තිබුනු අයුරු ඔහුට සිහිවිය. පොඩි සෙම්ප්රතිශ්යාවක් වැළදුනු විටද, කොත්තමල්ලි, වෙණිවැල්ගැට, සුදුළුනු යනාදී ගෙදර තිබූ සියළු දේ මෙන්ම වැල්පෙනෙලද තම්බමින් ඇය ඔහුට පෙව්වාය.

එහෙත් මව් පදවිය ලත් පසු ඇයගේ සෙනෙහස ලබා ගැනීමට තමා පෝලිමේ සිටියුතු වැනි හැඟීමක් දේශප්රිය ට දැනෙන්නට විය.

"ඔයා කොහොමද අවිවාහක ටීම් එකට ගහන්නෙ? තවම කොල්ල කියල නේද හිතේ?" මීට වසර පහ හයකට පෙර යමෙක් ඔහුට කියූ දිනයක් දේශප්රිය ගේ මතකයට එයි.

සිංහල අවුරුදු සමයේ තම දරු දෙදෙනාද සමග දේශප්රිය සහ සෞම්යා ලංකාවට ගියේ දෙමව්පියන් දැක බලා ගෙන අවුරුදු සිරියද විඳ ගැනීමටය. එරබදු මලින් වර්ණවත් වූ ගම්මානය, ඔහුගේ දිවියේ එක් පරිච්ඡ්දයක මිහිරි මතක සටහන් අවදි කලේය. ගමේ අවුරුදු උත්සවය දා පැවති විවාහක-අවිවාහක කි්රකට් තරඟයට සහභාගී වීමට පෙරුම් පුරා සිටි දේශප්රිය එදා කෙලිපිටියට ගියේ එම ජීවන සටහන් අළුත් වැඩියා කර ගැනීමේ අදිටනිනි.

පුරුද්දට වාගේ ඔහු කෙලින්ම ගොස් අවිවාහක කණ්ඩායමට තම නම ඇතුලත් කළේය. එහෙත් ඔහු තව දුරටත් එම කණ්ඩායමට අයිති නොවන බව ඉහත සඳහන් අයුරින් යම් කෙනෙකු විසින් ඔහුට මතක් කර දුන්නේ එවිටය. "එන්න මල්ලි අපේ පැත්තට" විවාහක කණ්ඩායමේ අය ඔහුව සාදරයෙන් පිළිගත්තෝය.

මුහුකුරා ගිය ඉන පරිමිතිය සහ ගිලිහී යාමට මාන බලන මදින් මද සුදුවූ කේශ කල්යාණය විවාහක කණ්ඩායමේ ප්රධානතම ලක්ෂණය ලෙස දේශප්රිය ට පෙනුනි.

"Oh, shit!" නමැති ඕස්ටේ්රලියානු පදවැල දුක්මුසු ස්වරයෙන් තුන්වරක් තමාටම මතුරා ගත් දේශප්රිය විවාහක කණ්ඩායම වෙත පිය නැගුවේය.

පලමුවෙන් පන්දුවට පහර දුන් අවිවාහක කණ්ඩායම, ලකුණු 150 ක් රැස් කර ගත්හ. ගෙවල් වල දරුවන්ගේ වැඩ සහ රැකියාව වැනි දේ නිසා පුහුණු වීමට අවස්ථාවක් නොලත් නිසාදෝ විවාහක කණ්ඩායම ලකුණු 30 කට දැවී ගියහ. දේශප්රිය ට සතුටු වීමට තිබුණු එකම කරුණ නම් එයින් ලකුණු 25 ක්ම රැුස් කර ගත්තේ ඔහු විසින් වීමයි.

කොන්දේ අමාරුව තරමක් අඩුවී ඇති බව දැනුන නිසා, දේශප්රිය හෙමින් හෙමින් දෙපයින් හිට ගත්තේය. "ආ ඩාලින්, ඔයාට හොඳයි වගේ නේද? එහෙනම් ඉක්මනට ගිහිල්ල වත්තෙ තණකොල ටික කපල දාන්න. කැලේ වගේ, ලැජ්ජාවේ බැහැ!" ඔහු නැගී සිටිනු දුටු සෞම්යා කීවාය.

කොර ගහමින් කුස්සිය වෙත ගිය දේශප්රිය පැනඩෝල් පෙති තුනක්ම ගිල දමා වත්ත දෙසට පිය නැග්ගේ, සටන්කාමියා ඉරියව්ව කිරීමට ගොස් හදාගත් කොන්දේ අමාරුව හොඳ කර ගැනීමට, බල්ලාගේ හෝ පූසාගේ ඉරියව්ව කළයුතු යැයි අදිටන් කරගනිමිනි.

-ලක්ෂ්මන් රන්දෙනිය

(මෙහි සඳහන් සියළු චරිත පමණක් නොව සමහර වචන පවා මනඃකල්පිතය.)

(image: http://www.spiritofyoga.com.au/)

2 comments:

  1. කදිම කතාවකි..ආදර්ශමත්ය..

    ReplyDelete
  2. //මෙහි සඳහන් සියළු චරිත පමණක් නොව සමහර වචන පවා මනඃකල්පිතය//

    හැබැයි එක්ස්පීරියන්ස් තියෙනව වගේ හෙහ්...හෙහ්..

    ReplyDelete