Saturday, April 6, 2013
ගීත සාහිත්‍ය සම්මන්ත්‍රණය - ගීත රචක සුනිල් සරත් පෙරේරා සමග
නිව් සවුත් වේල්සයේ සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ සිංහල ලේඛක සංසදය මගින් දෙදහස් දොළහ වසරේ දී පවත්වා ගෙන යනු ලැබූ වැඩ සටහන් මාලාවේ අවසාන අංකය මෙන්ම ඉතා වැදගත් අංගයක් ලෙසින් ‘සුනිල් සරත් පෙරේරා සුහද හමුව’ වැඩ සටහන හැඳින්විය හැකිය.
ලංකාවේ සම්මානනීය ගීත රචකයකු වන සුනිල් සරත් පෙරේරා ශූරීන් ගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම වැඩ සටහන ආධුනික ගීත රචකයින් ගේ ගී රචනයට අත්වැලක් වීම් වස් පැවැත්වුණි. එය ඔවුන්ගේ විෂය ගැන ඇති දැනුම තව දුරටත් ඔප්නංවා ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව අපට ලැබුන යහපත් ප්‍රතිචාර වලින් සනාථ වේ.
ගීත රචනය ගැන සිත යොමු කිරීමේ දී ඒ විෂය විවිධ පැති කරා විහිද යන බව පෙනී යයි. සිංහල සංස්කෘතික හමුවේ සිංහල ලේඛක සංසදය එදින විශේෂ අවධානය යොමු කළේ හෙළ ආරේ ගීත රචනය පිළිබඳව බැව් කිව යුතුය. එම වැඩ සටහන අළෙලා මා විසින් සිංහල සංස්කෘතික හමුව විසින් ත්‍රෛමාසිකව පළ කරන ‘සිංහල’ සඟරාවට ලියා යැවූ ලිපිය ඔබගේ රස විඳීම පිණිස ඉදිරිපත් කරමි. එදින අපගේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සුනිල් සරත් පෙරේරා ගීත රචකයානන් විසින් පවසන ලද ඉතා අගනා අදහස් වලින් බිඳක් මේ ලිපියෙහි ඇතුලත් කර ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් නමවෙනි දා නිව් සවුත් වේල්සයේ සිඞ්නි නුවර ටූන්ගැබී ප්රජාශාලාවේදී ‘සිංහල සංස්කෘතික හමුවේ සිංහල ලේඛක සංසදය’ ශී‍්‍ර ලංකාවේ සම්මානනීය ගීත රචක සුනිල් සරත් පෙරේරා ශූරීන් හරසරින් පිළිගනු ලැබීය.
එදින ආරාධිත අමුත්තා ලෙසින් ‘සුහද හමුවෙහි’ මුලසුන හෙබ වූ ඔහු හැටේ දශකයේ සිට අද දක්වා සුභාවිත ගීත ප්‍රබන්ධය කර, සාහිත්‍ය ලෝකයේ සුවිශේෂී නමක් දිනාගත් අයෙකි. ශී‍්‍ර ලංකා ගුවන් විදුලියේ,රූපවාහිණියේ මෙන්ම, අමාත්‍යාංශ ගණනාවක ද ඉහළ නිළතල හෙබ වූ ඔහු කෘතහස්ත විධායක නිළධාරියෙකි. ලේඛකයෙකි.
හෙල හැදියාව අගයන මේ සම්මානනීය ගීත රචකයා තම නිර්මාණ තුලින් රසික කැල තුළ නො ඉඳුල් අපේ කම හා දේශාභිමානය උද්දීපනය කිරීමට දක්වන නිසඟ හැකියාව කිහිපවරක් බුහුමනට පාත්‍ර විය. ඔහු 2004 වසරේ දී දේශාභිමානී ගීත රචනයට පිරිනැමෙන ජනපති සම්මානයෙන් පිදුම් ලැබීය. සම්බුද්ධත්ව බුද්ධ ජයන්ති ගීතය ‘ඥානාලෝකයෙන් ලෝකා’ලෝකව බැබළේ බැබළේ ආදී වශයෙන් සිය ගණනක් හෙල බොදු හැදියාව අනු දැන ඔහු ලියූ ගී, පණ්ඩිත් අමරදේව, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය අමරා හා දයාරත්න රණතුංග, අමිතා වැදිසිංහ හා අතුල සෝමසිරි ද පසුකාලීනව සෝමතිලක ජයමහ හා සුනිල් එදිරිසිංහ ද මෑත භාගයේ අමරසිරි පීරිස්, දීපිකා පි‍්‍රයදර්ශනී වැනි අපේ අනන්‍යතාවය අගයන ගායක ගායිකාවෝ ද ගැයූහ. එමෙන්ම එම ගීත පණ්ඩිත් අමරදේව, රෝහණ විරසිංහ, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න, සංගීත් නිපුන් සනත් නන්දසිරි, දයාරත්න රණතුංග හා වික්ටර් දළුගම වැනි සංගීතඥයින්ගේ සංගීතයෙන් ඔපවත් විය.
සුනිල් සරත් ලියූ ගීත දහස ද ඉක්මවා ඇති බැව් ‘සුහද හමුව’ මුලූ දුන් දා අපට දැනගන්නට ලැබුණි. තම ගී රචනා තුලින් සහෘදයනට මානව දයාවෙන් යුතුව හෘදයාංගවම ‘අපේ කම’ සම්පේ්රක්ෂනය කිරීමට සුනිලූන් සතුව ඇත්තේ නිසඟ හැකියාවකි. එවන් කලාකරුවකු පිළිගැනීම සි’නුවර සිංහල සංස්කෘතික හමුවේ ‘ලේඛක සංසදය’ සිදු කළ මාහැඟි කටයුත්තක්ය යන්න අපට ලැබෙන යහපත් ප්‍රතිචාරවලින් අසන්නට, කියවන්නට ලැබෙයි.
මාධ්‍ය අංශයේ උප සභාපති දීපාල් ද සිල්වා ‘සුහද හමුව’ට පැමිණි පිරිස පිළිගනිමින්, නොවැම්බර් 11 වනදා ‘සිංහල ලේඛකයින්ගේ සංසදය’ මගින් මෛතී‍්‍ර පනාගොඩ ගී රචකයානන් ගේ මූලිකත්වයෙන් පැවැත්වූ ‘සිංහල ගීතය’ වැඩ මුළුවේ දෙවන අදියර ලෙසින් මෙම වැඩ සටහන තමා හඳුන්වන බව පැවසීය.
සිඞ්නි නුවර කලා ලැදි අපගේ දායාද වන මෛතී‍්‍ර පනාගොඩ, ආචාර්ය ෂෙල්ටන් පේ‍්‍රමරත්න සමග සුනිලූන් හමුවුණ මේ විරල අවස්ථාවේදී ඔවුන් ගෙනහැර පෑ අගනා අදහස්, අංකුර ගීත රචකයින් හට හරවත්, රසවත් පාඩමක් වූවාට සැක නැත. ‘සුහද හමුව’ සංවිධානය කිරීමේ අරමුණු කීපයකි. සම්මානනීය ගීත රචකයකු පිළිගැනීම, අපගේ ආධුනික ගීත රචකයින්ට ප්රවීනයකු මුනගැසීමට අවස්ථාවක් සැලසීම, ගීත රචනයට යොමු වූ ලේඛකයින්ගේ සැඟවුන කුසලතා මතුකරලීම, ඔප්නැංවීම හා ඔවුන් දිරි ගැන්වීමට අත්වැලක් සැපයීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී.
නොවැලැක්විය හැකි හේතුවක් නිසා හමුවේ සභාපති නිමල් රත්නායක එදින වැඩසටහනට සහභාගි නොවීය. ඔහු වෙනුවෙන් ඒ අවස්ථාවට සහභාගිවූ අධ්‍යාපන අංශයේ උප සභාපති ශාමල් පන්නිල, ‘සංස්කෘතික හමුව’ හෙල කලාවේ දියුණුවට ඇප කැපවී කරනු ලබන සේවාවන් ගැන පැහැදිලි කිරීමක් කළේය.
මෑත යුගයේ ‘හමුව’ මූලික වී කළ නිමැවුම් කීපයක් වන විසි වසරක සැමරුම් ඇතුලත් කළ විඩියෝ පටය ‘පියසටහන්’, සාහිත්‍යය කෘති යුගලය වන ‘තිරස තරණ’ හා ‘දකුණු කුරු දිව් කව්’ පොත් ද සංසදය නිමැවූ සී.ඞී. තැටිය ‘රුවැත්තියේ’, ප්‍රධාන අමුත්තා වෙත පිළිගැන්වීම එදින සිදුවිය. එය මේ නිර්මාණයන් නිමැවීමට දායකවූ ද අද සංසදයේ කි‍්‍රයාකාරී සාමජිකයින් ද වන සමන් දිසානයක, රසික සූරියආරච්චි හා සිසිල් ෆොන්සේකා අතින් සිදුවිය.
සුනිල් සමග වසර පනහක පමණ දීර්ඝ ඇසුරක් ඇති ඔහුගේ කළණ මිතුරු ආචාර්ය පියසෝම මේදිස් සිය මිතුරා සභාවට හඳුන්වා දුන් අතර සුහද මිතුරු අධිනීතීඥ මෛතී‍්‍ර පනාගොඩ ගීත රචකයානන් දේශණය සඳහා සුනිලූන්ට ඇරයුම් කළේය.
සුනිල් සරත්, ‘සුහද හමුව’ක් සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන කි‍්‍රයා කිරීම ගැන තම කෘතඥතාවය සංසදය වෙත පිරිනැමීයභ අනතුරුව සිංහල ගීතය ගැන අදහස් දැක්වීමට සංකතන මණ්ඩපයට ප්‍රවිෂ්ඨ වෙමින් ගීතයක ආකෘතිය නිමැවන්නේ වින්දන මූලයකින් බැව් පැවසීය.
මානවසිංහයින් වින්දන මූලයම ‘වේදිත්ය’ නමින් හැඳින්වූ බවත්, ඒ පාදක කරගෙන ගීත රචනය ගැන තමාගේ දේශනය ඉදිරියට ගෙන යන බවත් සුනිලූන් පැවසීයභ ගීතයක් විචාරය කිරීම මෙන්ම නිර්මාණය කිරීම වින්දන මූලය ඇසුරු කරගෙන සිදු කළයුතු යයි ද, සුබෝධත්වය ගීතයකට අවශ්‍යය යයි ද ගීත සාහිත්‍යයෙන්, ජාතික චින්තනයට විශාල බලපෑමක් සිදු කළ හැකියයි ද කී ගීත රචකයානන් මානවසිංහ, මහගම සේකර ආදීන් අපට වින්දන මූලය සපයා දුන් බව සඳහන් කළේ යභ සරල සුගම දෙයක් රම්‍යතර සංකල්පයකින් ඉදිරිපත් කිරීම ගීතය යයි ද, ශබ්දයත් අර්ථයත් එක්වූ තැන ගීතයක් නිමැවේ යයි ද, පැවසූ ඔහු සරල සුගම දෙයක් වුවත් ඉන් දාර්ශනික පණිවුඩයක් දෙන බවද අවධාරණය කළේ ය.
‘ගීත විචාරය’ ගැන තම අදහස් පළ කළ ඔහු නිර්ධය ලෙස විවේචනයක් ගීතයකට අවශ්‍ය නැති බව කියා සිටියේය. ගීත රචනයේදී සංකේත භාවිතය ගැන තම අදහස් දැක් වූ ඔහු එමගින් ගීතයකට ප්‍රාණයක් ලැබෙන බවත් ‘එරන්දතිය එනවා’ යැයි තමා ලියූ ගීතය ඊට හොඳ උදාහරණයක් බවත් පැවසීය.
‘තේරී ගාතා’ සහ ‘හයිකු කවි’ අනිත්‍යතාවය මතුකරන සංකේත භාවිතයෙන් අනූන බැව් පළ කළ හෙතෙම තමා විසින් ලියන ලද ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’ ගීය උදාහරණයක් ලෙස ගනිමින් කාලය, අනිත්‍යතාවය හා අනිත්‍යතාව තුළින් මතු වන සුන්දරත්වය තමා ගේ ගී වල බොහෝ විට දැකිය හැකි බැව් පැවසුවේ ය. කවිය මෙන්ම ගීතය ගොඩනගන්නට ‘දාර්ශනික කවිතාව’ දියුණු කල යුතුයි. සමබරතාවය රැකිය යුතුයි. අපට සම්ප්රදායක් තියෙනවා. සම්ප්රදාය බිඳ දමා, අමතක කරලා බෑ ඉදිරියට යන්නභ සම්ප්රදාය තුල ඉඳගෙනයි නව්‍යත්වයට යාම කළයුතු. අමරදේව, එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය තම ගමන ගියේ එලෙසයිභ තම සුපුරුදු නිහතමානීත්වය පෙන්වමින්, ගීත රචනයේදී තමා වත් අනුගමනය නොකරන්න යැයිද පැවසූ ඔහු ප්‍රවීණ හෙළ ගී පද රචකයන් වූ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ, මඩවල එස්. රත්නායක, මහගම සේකර ආදීන් අනුගමනය කර ඒ අයගේ ආර වින්දන මූලය කරගන්න යැයි නවක ගීත රචකයින්ට උපදෙසක් දෙමින් පැවසීය.
‘මානව හිත වාදය ගීතයක තිබිය යුතුයි මා සිතනවා. මෛතී‍්‍ර පනාගොඩ ගීත රචකයා ගේ නිර්මාණ තුලින් එය මැනවින් පිළිබිඹුවනවා. ඔහු ලියූ ‘ජීවිතයේ තණ නිල්ල දිගේ - අතිනත පටලා අනෙකෙකු සමගින් - පියවර තබනා හෙට දවසේ - මා සිහි නොකළ මැනේ’ මීට හොඳ උදාහරණයක්. එසේම සංස්කෘතික විඥානය ඉතා වැදගත්. ගීතයක පැවත්මට එය සවියක්ම වෙනවාභ භාෂාව ගීතයේ ශරීරය කොට ගන්න. ගී පබැඳීමේ දී හලන්ත අකුරු ද පාවිච්චි කරන්නභ. යයි සුනිල් සරත් පෙරේරා ගී රචකයානන් සිය දේශනය අවසානයේ නිදහස් සිතින් ගී ලියන ලේඛකයින් හට උපදෙසක් ලෙස පැවසීය.
ආචාර්ය පාලිත ගනේවත්ත එදින වැඩ සටහන මෙහෙයවීය.
මෙහි දැක්වෙන ඡායාරූප එදින විශේෂ අවස්ථා නිරූපණය කරයි.
සටහන: මලී දිසානායක, ලේකම් (2009-2012), සිංහල ලේඛක සංසදය
ඡායාරූපඃ රොබින් බොස්කෝ
Labels:
ලේඛක සංසදයේ ක්‍රියාකාරකම්
Subscribe to:
Posts (Atom)